Saturday, October 14, 2017

රිඟින් ටෝන් වංචාවක්ද? - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 5

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

ගීතයේ අයිතිය පිළිබඳව නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති යුගයේදී ගීතය තුලින් ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි.  නමුත් නීතිමය ප්‍රතිපාදන ස්ථාපිත කරනා විට ගීතයේ නිර්මාණකරුවන් වන පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාටම අයිතිය පැවරෙන ආකාරයට සැකැස්මක් බොහෝ රටවල ඇතිකෙරින. අප රටේද ගීත රචකයාට අයිතිය ලැබෙනා ආකාරයට නීති ස්ථාපිත වුවද දිගින් දිගටම එහි ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි. බුද්ධිමය දේපල පනත කෙසේ කීවද ගායකයා විසින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක කර දමා තිබිණ. ප්‍රසංග වල ගායනයෙන්  ලබා ගන්නා මුදලින් කිසිදු භාගයක් අනෙක් හිමිකරුවනට ලබා දුන්නේ නැත.  අහිංසක කලා කරුවන් වූ පද රචකයින් සහ තනු නිර්මාපකයින් සිය අයිතිය වෙනුවන් සටන් නොකරන පරිසරයක් තුල ගායකයා විසින් දිගින් දිගටම බුද්ධිමය දේපල වංචාව කරගන ගියේය.

මේ තත්වය තාක්ෂණ දියුණුවත්  සමග වෙනස් විය. ජංගම දුරකථන ජාල "රිඟින් ටෝන්" හඳුන්වා දීමත් සමග ජනප්‍රිය ගීත වල "රිඟින් ටෝන්" සඳහා විශාල ඉල්ලුමක් ඇති විය.  දුරකථන ග්‍රාහකයින් "රිඟින් ටෝන්" බාගත කරගන්නා සැම විටම ගීතයේ අයිතිකරුට සැලකිය යුතු මුදලක් ලැබෙනා ආකාරයට  ජංගම දුරකථන සමාගම් විසින් ක්‍රමවේදයක් සකසා තිබිණ. ඒ අනුව "රිඟින් ටෝන්" සේවාව වෙතින් සමහර ජනප්‍රිය ගීත සඳහා මිලියන ගණනින් ගෙවීම් කර තිබුණි. 

මේ අවස්ථාවේ අතරමැදි තැරව් කරුවන් රැසක් බිහිවිය. ඔවුහු රට පීරා යමින් අප්‍රකටව ජීවත් වූ ගී පද රචකයින්ගේ ගීත වල "රිඟින් ටෝන්" අයිතිය සුලු මුදලක් ගෙවා තමන්ගේ නමට හරවා ගෙන ඒවා ජංගම දුරකථන ජාල වෙත විකුණා දැමුහ. තම නිර්මාණය සඳහා කිසිදු මුදලක් හෝ ප්‍රතිලාභයක් නොලැබුණු ගීත රචකයන්ට සුළු මුදලක් වුවද මහමෙරක් විය. පසුව මේ තත්වය හෙළිවීමෙන් පසුව ගීත රචකයින් ඍජුවම දුරකථන සමාගම් සමග ගිවිසුම් ගතවී සිය නිර්මාණ සඳහා සුවිසල් ප්‍රතිලාභ ලබා ගත්හ.

එවිට මෙතෙක් කාලයක් අනුන්ගේ බුද්ධිමය දේපල අයිතිය මංකොල්ල කමින් සිටි ගායකයන් කුපිත් විය. ඔවුහු දුරකථන සමාගම් ගානේ ගොසින් ගීත රචකයන් "රිඟින් ටෝන්" මගින් උපයා ගන්නා ලද මුදල් පිළිබඳව විමසා සිටියහ. තමන් කලින් කරනා ලද වංචාව අමතකවූ ඔවුහු පුවත් පත් සහ විද්‍යුත් ජනමාධ්‍ය තුලින් ආවේගශීලී ප්‍රකාශ ජනගත කලේ සුදු රෙද්දෙන් පොරවාගෙන සිටි සිය නිරුවත් ලොවට පෙන්නුම් කරමිනි.


පහතින් දැක්වෙන්නේ රටෙහි ඉමහත් ජනාදරයට පත් ගායකයකුගේ එවන් ප්‍රකාශයකි. 

ප්‍රශ්නය: අපි රිඟින් ටොන් නිසා සිදුවුණු ගැටළු පිලිබඳ මෙයට පෙරත් බොහෝ අවස්ථාවල කතා කොට තිබෙනවා.
නමුත් ලංකාව තුල තිබෙන නිතිය අනුව ගීතයේ අයිතිය ලැබෙන්නේ ගීත රචකයට වීම හේතුවෙන් ගීතයේ මුල් ගායකයාට ඒ පිළිබඳව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයකුයි තියෙන්නේ?

පිළිතුර: නෑ නෑ නෑ ඒ පිස්සොනේ. මොන පිස්සොද සත 5 කට ගනන් ගන්න එපා ඒ කතාව. ඒ ගොල්ලො අමුතු ආධිපත්‍යයක් පෙන්නන්න යනවා මේ ගීතය තුළ. ඕක මම කීව විදියටම දාන්න. එහෙම එකක් නෑ. මම සිංග් කල ඒව කාගෙන්වත් ඉල්ලලා නෙවෙයි සිංග් කරල තියෙන්නෙ. 

මම කිසිම ගීත රචකයෙක් ලඟට ගිහිල්ල ඉල්ලලා නෑ අනේ මට ලියල දෙන්න කියලා. මම එහෙම කරන්න කැමති නෑ. xxxx xxxxx කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සයට කියල මම සිංදුවක් ලියාගෙන තියනවා. "xxxxxx xxxxxx" කියන ගීතය.

එතකොට ඒගොල්ලො ඇවිල්ල තියනව මම ලඟට මගේ කටහඬින් කියන්න කියලා. ගොඩක් වෙලාවට මම මිනිස්සුන්ට බනින්නෙ නෑ. මගේ බැරිකම මම කියනවා. මට බේරෙන්න බෑ. රට රටවලින් පවා එනවා.

ගීත රචකයෝ කියන එවුන්ට මම හොඳ පාඩමක් කරනවා. මොකක්වත් නෙවෙයි අනවශ්‍ය ආධිපත්‍යයක් පෙන්නන්න හදනවා. මේ ගීතය තුළ. මෙතන ගායකයෙක් ගායිකාවක් හරියට කීවෙ නැති ගීත කොච්චර විසිවෙලා ගිහිල්ල තියනවද! සංගීතඥයත් ඉවරයි. රචකයත් ඉවරයි. එහෙමනම් ඒගොල්ලො මේක කොලේක දවටලා ඉරටෙක ගහල පාර මැද අල්ලගෙන හිටියනම් හරි. ගීතය ප්‍රසිද්ධ වෙයිද!

මහගමසේකර උන්නැහෙල, මාවනසිංහ මහත්තයල, අමරදේව මහත්තයත් එක්ක එක පැදුරෙ වාඩි වෙලා කතා කර කර නිර්මාණ බිහිවුනේ. එහෙමයි හොඳ ගීත බිහි උනේ. මගෙ කියල ඒ මිනිස්සු කුළල් කාගත්තද...! නෑ.

ඒ බොරු අයිතියක් අරගෙන මුන් මේ රිගිං ටෝන් එකටත් දාන්නෙ. අපිට අදාල නෑ ඔය නීතිය. කවුද ඔය නීතිය සම්මත කලේ! එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් දැනගන්න ඕන. රටේ ඉන්න කලාකාරයින්ගෙ නිර්මාණ මේව. එක මිනිහෙක් ගිහිල්ල කීව පලියට ඒ නීතියක් පවත්වලා හරියන්නෙ නැහැනෙ. 

අදාල පාර්ශවයන් ඔක්කම කැඳවලා අහන්න ඕන මේ නීතිය පැනෙව්වොත් එහෙම අසාධාරණ ද කියල. එහෙම අහන්නෙ නැතිව පනවපු නීතියක් මේක. ගායකයට වැඩි අයිතියක් එනව. ඒක තේරුම් අරගෙන කොහොම හරි පසුකාලීනව.

ඔය මෝඩ වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස්. ඔය මෝඩ ගොන් තකතීරු වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද ඒ මිනිහ ඔය මොකක්වත් දන්නෙ නෑ. එයාගෙන් විතරයි අහල තියෙන්නෙ. කාගෙන්වත් අහල නෑ ඒ කාලෙ.

මිනිස්සු ආසයි අපිව ගෙන්නලා සින්දුවක් කියවලා අහන්න. එතකොට ගානක් දෙනවා. එහෙමයි කියල අපි මේක දීපන් කියල හූරගෙන කන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙන්. එතකොට ඒකටත් (ගීත රචකයන්ට) ඊරිසියාවක් තියනවා. ඕක තමයි ප්‍රශ්ණෙ. ගීතයක් ප්‍රචාරය වෙනවනම් මේ තුන් දෙනාටම හරි ආකාරව බෙදිල යන්න ඕන.

මට දවසක් කතා කරල ආචාර්ය ගම්ලත් මහත්තයා කීව එතුමාගේ බීබීසී සංදේශය වැඩසටහනට ඉදිරිපත් වෙන්න කියලා.. කතා කරල මගෙන් ඇහුව ඔබතුමා ගීතයේ ස්වාමීත්වය ගැන මොකද කියන්නෙ කියලා...මම කෙලින්ම කීවා මේක තනි කෙනෙකුට අයිතියක් නෑ මේක තුන්දෙනාගෙම උත්සාහයක්. හැකියාවක්. අනිත් දෙන්නට ආලෝකයක් දෙන විදියට ගයපු නිසා තමයි ඒ දෙන්නටත් ආලෝකයක් ආවේ.

මේ ලඟදී මට කීව xxxxxxx   කියන නමත් පාවිච්චි කරන්න එපා කියලා. xxxxxx කියන එක සිංහළ භාෂාවේ වචනයක්. ඒක කාටවත් අයිති නැහැනෙ. මම ගයපු හැම ගීතයක්ම ගීත රචකයාට මම ගරු කරනවා. xxxxxxx ගීතයට අත තිබ්බෙ නෑ කවුරුවත්.

මම තව එකක් කියන්නම්. ඔය රිගින් ටෝන් සංකල්පය ආපු අළුත ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ එතන හිටිය මම අදුරන පානදුර පැත්තෙ කැලිප්සෝ එහෙම වාදනය කරන මනුස්සයෙක්. එයා තමයි මාව කැඳෙව්වෙ. එයා මට කීව අපේ ආයතනය තීරණය කරල තියනව ඔබ තුමාගෙ xxxxxx  වැනි ගීත අරගෙන අපි රිගින් ටෝන් වලට දාන්න. මාත් එක්ක පැයක් විතර කතා කලා. කොච්චර මුදල් අවශ්‍යය ද කියල මගෙන් ඇහුවා. මම මේ කියන්නෙ අවුරුදු 10 කට 12 කට විතර කලින්.

මම කීව මට ඕකට එකඟ වෙන්න බෑ. මේක තුන් දෙනෙකුට අයිති නිර්මාණයක්. අනිත් දෙන්නත් දැනුවත් කරල කියන්නම් මට අවශ්‍ය ගාන කියලා.

මේගොල්ලො ලීව නිසා නෙවෙයි ඕක මිනිස්සු අහන්නෙ මම හරියට කීව නිසා. පැහැදිලිම සත්‍යය ඒකයි. අද බලන්න පත්තරේක කවියක් තිබුනට කවුද ඒක කියවන්නෙ. හොඳ උගත්කමක් තියන ඒකෙ රස අඳුනන කෙනෙක් විතරයි ඒක කියවන්නෙ. ගීතයක් ලීවම සංගීතයක් දවටලා තමයි අස්සවන්නෙ. ඊට පස්සෙ තමයි කවුද සිංග් කරන්නෙ කියල අහන්නෙ. එතකන් මිනිසුන්ට ඒක වැදගත් නෑ. ඒකෙන්ම තේරෙනව අපි තමයි මේකෙ නියම අයිතිකාරයෝ. කවුද ඔය නීතිය හැදුවෙ..! 

ප්‍රශ්නය: විවිධ සමාගම් අටවාගනිමින් මේ ගීත සොරකම කරන පුද්ගලයනුත් හෙළි කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ?

පිළිතුර: වැරැද්ද කරන්නෙ මේ ජංගම දුරකථන ආයතන. අපේ කලාකාරයෝ හෑල්ලුවට ලක් කිරීමක් ඒගොල්ලො කරන්නෙ. කෙනෙකුට දැනෙන්න සිංදුවක් කියන එක හරි අමාරු වැඩක්. ඒක හෑල්ලුවට ලක් කරනව මේගොල්ලො. කිසි බලයක් නැතුව කෝටිගනන් හම්බ කරනව මේගොල්ලො. සත 5 ක් මේ වෙනකං කිසිම ආයතනයකින් මට ගෙවල නෑ. මම අරගෙනත් නෑ.

මම අඳුනන ලෝයර් කෙනෙක් ඉන්නවා. එයා මාව අරගෙන ගියා එක්තරා ආයතනයකට ගියාම ඒගොල්ලො බය උනා. ගිහිල්ල ඇහුව xxxxxx xxxxxx ගෙ සිංදු කොච්චර අරගෙන තියනවද කියලා සංඛ්‍යාලේඛන අපිට දුන්නා.

මගෙ xxxxx ගීතයෙන් පමණක් ඔවුන් ලක්ෂ 85 ක් හොයල තිබුනා. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. මගෙ ලෝයර් ඇහුව ඒ සල්ලි අපිට ගන්න බැරිද කියලා. ගන්න බෑ කීවා. අද ඉඳල ඒක කරල දෙන්නම් අලුත්ම නීතියේ හැටියට. කේස් එකක් ෆයිල් කලොත් ඒවත් ගෙවන්න වෙනවා. මම හොයල බැලුවා. අනිවාර්ය්‍යයෙන්ම ගෙවන්න ඕන. රුපියල් කෝටි ගානක් මට එන්න තියනව සල්ලි.


කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 

1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

Sunday, October 8, 2017

කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 4

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

ජිප්සීස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියේ උපරිමය වෙත ලඟා වන අවදිය වන විට ලංකාවේ පැවතියේ සංගීත කණඩායම් ඉතාමත් සුළු ගණනක් පමණි.එම කණඩායම් වල බටහිර සංගීතය විධිමත් ලෙස හදාරන ලද වාදකයන් සිටි අතර ඔවුන්  ලාංකික රසිකයාට සුමිහිරි ගීත පෙළක්ම දායාද කරදී තිබුණි. එම ගීත වලින්  බහුතරය ගුවන් විදුලියට ආගන්තුක විය. නමුත් ගීත රචකයා ගුවන් විදුලි කල්ලියට සම්බන්ධ අයෙකු වී නම් ගීතය ගුවන් විදුලිය ප්‍රචාරය වින. ඉතිරි ගීත අසන්නට ලැබුනේ එකල විරල වූ තැටි වාදන යන්ත්‍ර හිමිකරුවන් වූ යමක් කමක් ඇති පන්තියට පමණි. මෙය ශ්‍රී ලාංකික රසිකයාගේ රසඥතාව මොට කිරීමට හේතුවක් විය. ගම්වල තරුණ තරුණියන්ට ගුවන් විදුලි ඉන්දියානු කල්ලිය පමණක් වීරයන් විය. 

හැත්තෑ හතේ පෙරලියන් පසුව විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම සුවිසල් සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතික  පෙරලියක් රට තුල  සිදුවිණ. රට වටා විවිධ පෙදෙස් වල නිදහස් වෙළෙඳ කලාප බිහි විය. ඒවා තුලට ග්‍රාමීය තරුණ තරුණියන් දස දහස් ගණනින් ගාල් කෙරිණ. ග්‍රාමීය වශයෙන් ඉහල මට්ටමක තිබුණු රැකියා විරහිතභාවය, කුල පීඩනය, දිළිඳුකම වැනි සාධක මත තරුණ තරුණියන් අවම පහසුකම් වලින් යුතු මේ වහල් කඳවුරු වෙත පැමිණියේ මුදල් මෙන්ම නිදහස් වාතාවරණයක් බලාපොරොත්තුවෙනි.

නිදහස් වෙළෙඳ කලාප වටා ඒවාටම අනන්‍ය වූ උප සංස්කෘතියක් ගොඩනැගිණ. ඒවාට පැමිණි තරුණ තරුණියන් ගම සහ නගරය යන දෙකටම අයත් නොවන සංස්කෘතියක අතරමං වී සිටියහ. මේ සංස්කෘතිය තුල එළිමහන් සංගීත සංදර්ශණ සුලභ විය. සමහර සති අන්තයන්හි  ප්‍රදේශයේ විවිධ ක්‍රීඩාංගන වල සංගීත ප්‍රසංග දෙක තුන පවත්වන තත්වයක් තිබිණ.

ජිප්සීස් කණ්ඩායමේ සාර්ථකත්වය සමගම පුරා බොහෝ සංගීත කණඩායම් බිහිවිය. ඉන් බොහොමයක් උපන්ගෙයිම මියැදුණු නමුදු කිහිපයක් පමණක් සාර්ථක විය. එළිමහන් සංගීත ප්‍රසංග වලට සංගීතය සැපයීම සඳහා උපරිම ඉල්ලුම තිබුණු කණ්ඩායම් අතර සන් ෆල්වර්ස් ඉහලින්ම සිටියේය. ගුවන් විදුලිය කේන්ද්‍ර කරගත් ඉන්දියානු ගුරු කුලය මුල් යුගයේදී එළිමහන් ප්‍රසංග වල ගීත ගායනයේ නොයෙදින. ඒවායේ ගායනයේ යෙදුනේ බටහිර ආරයේ ගීත ගායනා කරනා ලද ගුවන් විදුලි කල්ලියට පිටස්තර ගායක ගායිකාවන් පමණි. ප්‍රවීණ යයි කියාගන්නාලද ඉන්දියානු ගුරු කුලය මේ සංගීත කණ්ඩායම්  නිර්දය ලෙස විවේචන කරනා ලද්දේ ඒවා තුප්පහි සංගීත කණ්ඩායම් ලෙසින් හඳුන්වමිනි.

වෙළෙඳ කලාප වලට ග්‍රාමීය තරුණ පිරිස් පැමිණීමත් සමගම ඒවායේ ප්‍රසංග වලට ගමේදී ස්වකීය වීරයන් වූ ඉන්දියානු ගුරුකුලයේ ගායන ශිල්පීන්ට හොඳ ඉල්ලුමක් බිහිවිය. ආර්ථික අපහසුතා වලින් හෙම්බත්ව සිටි ඉන්දියානු ගුරුකුලයේ එකා දෙන්නා තමන්ට තිබුණ ඉල්ලුම සහ ලැබෙනා මුදල හේතුවෙන් තමන් කලින් විවේචනය කරනා ලද තුප්පහි සගීත කණඩායම් වල ටකරං සංගීතයට ගීත ගායනය ආරම්භ කලහ. ටික කලෙකින් ටකරං සංගීත කණ්ඩායම් සමග ගීත ගායනයේ නොයෙදුනේ වික්ටර් රත්නායක, නන්දා මාලනී වැනි ස්ථාවර ආර්ථික තත්වයක් ඒ වනවිටත් ගොඩනගාගෙන සිටි අල්පයක් පමණි. සවසට ටකරං කණ්ඩායම් වල ගායනයට වේදිකාවට නගින ඉන්දියානු ගුරුකුලයේ සමහරුන් දහවලට එම කණඩායම් විවේචනය කිරීම සුලභ විය. ඔවුනට පමණක් දොර හැරී තිබුණු පුවත්පත් ලිපි, ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වලදී ටකරං සංගීත කණඩායම් පතුරු හැරීම සඳහා කිසිදු හිරිකිතයක් මොවුනට නොවිණ.

ප්‍රසංග වේදිකාවේ ඉහල ඉල්ලුමක් තිබුණු ගුණදාස කපුගේ මේ අවදියේදී විප්ලවකාරී තීරණයක් ගත්තේය. ඒ සන්ෆල්වර්ස් සංගීතයට කැසට් පටයකට ගීත ගායනය කිරීමට ගන්නා ලද තීරණයයි. 

එම තීරණය දේශීය සංගීත ක්ෂේත්‍රයේ  විප්ලවයක්ම විය. කපුගේ එක රැයින් මාකට් විය. "සන්ෆ්ලවර්ස් සමග කපුගේ" කැසට් පට ලක්ෂ ගණනින් අලෙවි විය. බස් රථවල දීර්ඝ කාලයක් වාදනය වුයේ කපුගේ පමණි. 

සුපුරුදු ලෙසින්ම ඉන්දියානු ගුරුකුලයේ කුහකයෝ කපුගේට එරෙහිව අවි අමෝරා ගත්හ. කපුගේ වෙත කෙරුණු නිර්දය විවේචන වලින් පුවත් පත් පිටු පිරී ගියේය. ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වල කපුගේ නොමරා මැරූහ. එනමුදු සවසට සන්ෆ්ලවර්ස් වේදිකාවට ගොඩවුහ. 

ඒ වනවිට ආර්ථික අපහසුතා වලින් අන්ත අසරණ බවට පත්ව සිටි හෙන්රි කල්දේරා ද කපුගේ ගිය මගෙහි ඉතා ඉක්මනින් පා නැගුවේය. "සන්ෆ්ලවර්ස් සමග හෙන්රි කල්දේරා" ද සුවිසල් සාර්ථකත්වයක් ලබමින් ජනප්‍රිය විය. සන්ෆ්ලවර්ස් ද හරිහරියට මාකට් විය. සංගීත පුහුණුවීම් සඳහා වෙලාවක් නොමැති වූ සන්ෆ්ලවර්ස් සිය පුහුණුවීම් සිදුකරනා ලද්දේ නගරයෙන් නගරයට යන අතරතුර බස් රථයේ දී බව නීල් වර්ණකුලසුරිය පසුකලෙක කියා තිබිණ. 

ඉතා ටික කලෙකින් "සන්ෆ්ලවර්ස් රැල්ල" මාරුතයක් මෙන් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය පුරා හමා ගියේ ඉන්දියානු ගුරුකුලයේ බොහෝ දෙනෙකු සන්ෆ්ලවර්ස් කැසට් පටයේ ඔතා දමමිනි. ඔවුහු කිසිදු ලැජ්ජාවක් නොමැතිව තමන් විසින් නිර්දය විවේචනයට ලක් කරනා ලද නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් ඉදිරියේ දණ නැමීය.

ඉන් වසර 10 ට පමණ පසුව ගුණදාස කපුගේ කියා තිබුනේ ඔහු සන්ෆ්ලවර්ස් කැසට් පටයට ගීත ගායනා කලේ සංගීත ක්ෂේත්‍රයේම මිතුරකුගේ ආර්ථික අවශ්‍යතාවකට පිහිට වීමට බවය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

Friday, October 6, 2017

සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 03

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
හැත්තෑව දශකයේ අග භාගයේදී ඉන්දියානු සංගීත ගුරු කුලය අමන මුග්ධයන් බව පසු කලෙක ලොවට හෙළිකළ තරුණයකු සිංහල සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළේය. ඔහු සුනිල් පෙරේරා විය. ඉහල මධ්‍යම පන්තියට අයත් කර්මාන්ත කරුවකුගේ පුත්‍රයකු වූ හෙතෙම ඒ වන විට බටහිර සංගීතයේ නිපුනයකු විය. සුනිල් පෙරේරා සහ ඔහුගේ සහෝදරයන්ගෙන් සැදුම්ලත් ජිප්සීස් සංගීත කණ්ඩායම පොප්, කන්ට්‍රි, රොක්, රොක් ඇන්ඩ් රෝල් වැනි බොහෝ බටහිර ශෛලීන් මනාව ප්‍රගුණ කර තිබිණ. ශ්‍රී ලාංකීක පොප් සංගීතයේ ඥාණ පියා (God farther of Sri Lankan Pop) යනුවෙන් බටහිර ගීත රසිකයන් හඳුන්වන ලද රාජ් සෙනවිරත්න වැනි සංගීතඥයන් ඇසුරේ වූ සුනිල් පෙරේරා දක්ෂ වාදකයෙකු වූ අතරම රොක් ඌරුවට හැඩගැසුණු විශිස්ථ කටහඬක් ද ඔහුට විය.  

සුනිල් පෙරේරා සිංහල සංගීතය ආක්‍රමණය කරේ නැවුම් ආරකින් යුතු කුරුමිට්ටෝ ගීතය ඉදිරිපත් කරමිණි. එය මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීතයක් විය. සුනිල් පෙරේරා එක රැයකින් තරුවක් බවට පත්වී ඉහලින්ම මාකට් විය. තමාගේම සංගීත කණ්ඩායමක්, තමාගේම ශබ්දාගාරයක් සතුවූ ඔහු කැසට් පටි බෙදාහැරීම සඳහා තමාගේම සමාගමක්ද පිහිටුවූයේය. සුපුරුදු ලෙසින්ම ගුවන් විදුලිය අරක්ගෙන සිටි කුහක ඉන්දියානු ගුරු කුලය සුනිල් පෙරේරාගේ ගීත ගුවන් විදුලියට වැද්ද ගත්තේ වත් නැත. ඔහුගේ ජනප්‍රිය තාවය නොඉවසු කුහකයින් පුවත් පත් හරහා සුනිල් පෙරේරා වෙත නිර්දය විවේචන එල්ල කළහ. ඔහුගේ සංගීතය රටෙහි සංස්කෘතිය විනාශ කරනා බවට කෙස් පැලෙනා තර්ක ඉදිරිපත් කළහ. සුනිල් පෙරේරාගේ සංගීතය විවේචනයෙන් සෑහීමකට පත් නොවී ඔහුගේ කොණ්ඩය, බෙල් බොටම් කලිසම  පමණක් නොව කර බැඳී කුරුසිය පවා විවේචනය කළහ.

ගුවන් විදුලිය සුනිල් පෙරේරාගේ ගීත ප්‍රත්ක්ෂේප කරනා විට ඔහු කලේ ඉරිදා දහවල හොඳම ගුවන් කාලය මිලදී ගෙන තමන්ගේ ගීත ප්‍රචාරය කිරීමය. ඒ සඳහා ඔහුට ආර්ථික ශක්තියක් විය. මෙරට රසිකයින් ඒ වෙලාවට ගුවන් විදුලි යන්ත්‍ර වටකරගත්හ. ගුවන් විදුලියේ බමුණන් මේ වැඩසටහන නවතා දැමීමට නොයෙක් උත්සහ දැරුවද එයට නිමිත්තක් සොයා ගත නොහැකි විය. ජිප්සීස් ඉහලින්ම මාකට්වී සන්නාමයක් (Brand) බවට පත්විය.

සුනිල් පෙරේරාව පත්තර පිටු ගණන් විවේචනය කරනා ලද ඉන්දියානු ගුරු කුලය වෙත ඔහුට පහර දිය හැකි ඉහලම ආයුධයක් මගහැරී තිබිණ. මන්ද යත් සංගීත ඔස්තාර්ලා බව ලොවට පෙන්වාගෙන සිටි විවේචකයන් විශ්ව සංගීතය ගැන මෙලෝ හසරක් නොදත් ලිං මැඩියන් පිරිසක් වීම නිසාය. සුනිල් පෙරේරාගේ බොහෝ ගීත වල තනු බටහිර ගී තනුම විය. සමහර ගීත බටහිර ගීත වල සිංහල පරිවර්ථන විය. එකල පවා ඉංග්‍රීසි පුවත් පත් වල මේ බව කලාතුරකින් පල විය. නමුත් බහුතරයක් වූ විචාරකයින් ඉංග්‍රීසි නොදත් මැටි මොළුන් විය.

විවේචකයන් සිදු කලේ සංගීත විචාරයක් හෝ විවේචනයක්  නොව සුනිල් පෙරේරාගේ ප්‍රසිද්ධිය සමග එරියස් කවර කිරීමක් පමණක්ම විය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

Thursday, October 5, 2017

සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 02


ගුවන් විදුලියට තිබුණු ඒකාධිකාරිය බිඳ වැටෙන්නට පටන් ගත්තේ 77දී ආර්ථිකය විවෘත කිරීම තුල රට තුලට කැසට් පටි වාදන යන්ත්‍ර මහා පරිමාණයෙන් ගලාගෙන ඒමත් සමගය. මේ නිසා මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීත නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා බොහෝ නිෂ්පාදකයන් බිහිවුනි. මේ කාලයේදී ක්ලැරන්ස් විජයවර්ධන , මිල්ටන් මල්ලවආරච්චි , ප්‍රියා සුරියසේන ගායකයන් ගේ ගීත වැනි ගුවන් විදුලියේ මුළුමනින් වාරනය් නොවුනද වාදනය් වුයේ ඉතාමත් කලාතුරකින්. ඔවුන් එකල ජනප්‍රිය ලොව පුරා ජනප්‍රිය පොප් ශෛලිය මෙන්ම කන්ට්‍රි ශෛලියේ ගීත නිර්මාණ රසිකයාට පිරිනමමින් සිටියහ. නමුත් ඔවුන්ගේ විශිෂ්ඨ නිර්මාණ ගුවන් විදුලිය අරක්ගෙන සිටි ඉන්දියානු ගුරු කුලයේ ගෙවලයන්ට වහ කදුරු මෙන් විය. 

ජනතාව චිත්‍රපට ගීත හරහා වැළඳගෙන සිටි ජෝතිපාල වැඩියෙන්ම විවේචනයට භාජනය විය. ඉන්දියානු ගුරුකුලයට අනුව ජෝතිපාල පීචං ගායකයකු විය. ජෝතිපාලගේ ගීතවල පද රචනා ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ පැවතුනද, ඔහු ගායන කුසලතාවෙන් අනුන වුවද දැඩි විවේචනයකට භාජනය විය. පුවත් පත් හරහා ඉන්දීය ගුරු කුලය ඔහුව විවේචනය කර විනාශ කරන්නට තැතනුවද ජෝතිපාල වඩාත ජනතාවට ආකර්ෂණය විය. නමුත් පුවත්පත් හරහා කරනා ලද  විවේචන තුලින්  රටේ පුවත්පත් කියවන ඉහල මධ්‍යම පන්තියෙන් ජෝතිපාලව ඈත කරන්නට මේ කුහකයනට  අවකාශ ලැබිණ. 

මේ කාලයේදී තවත් ගායකයකු රටේ සංගීත ක්ෂේත්‍රය සිය ග්‍රහණයට යටත් කරගනිමින් සිටියේය. ඔහු ගුවන් විදුලිය තුලින්ම බිහිවූ විශිෂ්ඨ ගනයේ කට හඬකින් යුතුවූ නිහාල් නෙල්සන්ය. "ලස්සනට පිපුණු වනමල්" තුලින් ගායන ක්ෂේත්‍රයට පිවිසි නිහාල් නෙල්සන්ට ගුවන් විදුලිය තුල අනාගතයක් නොවිණ. ඔහුගේ ගායන කුසලතාවේ ප්‍රභාවය රටෙහි සමස්ථ රසිකයා වෙත ගෙනයාමේ මග ගුවන් විදුලියේ කුහකයන් අසුරා දැමීම තුල නිහාල් නෙල්සන් "ගුණේ අයියගේ බජව් දාන කාමරේ" ට තල්ලු විය. ලාකීක රසිකයාට වඩාත්ම දැනෙන සික්ස් එයිට් (6/8) ස්පන්ධන රටාව (Beat) නිහාල් නෙල්සන් අති විශිස්ථ ලෙසින් හසුරුවාලීය. නමුත් ඔහුට ගීත ලියාදීමට ප්‍රබුද්ධ කුහකයින් ඉදිරිපත් නොවීය. කෙසේ වෙතත් ප්‍රබුද්ධ යැයි කියා ගන්නාලද ඉන්දියානු කුහක ගුරු කුලය ගුවන් විදුලියේ කුරු කුරු ගානා අතරතුරදී  නිහාල් නෙල්සන්ගේ ගීත අඩංගු කැසට් පට අලෙවි වාර්තා බිඳ හෙලමින් දස දහස් ගණනින් අලෙවි වින. ඊර්ශ්‍යා පරවේශ වූ ගුවන් විදුලි ඔස්තාර්ලා විසින්  ඔහුව "බයිලාකාරයකු"  වශයෙන් ලේබලයක් අලවා අවතක්සේරු කර දැමීය. නමුත් මේ ලේබලය ඇලවූ කුහක විචාරකයින්ට  බයිලා සහ සික්ස් එයිට් සංගීත රටාව පිලිබඳ කිසිදු දැනුවත් කමක් තිබු බවක් පෙනෙන්නට නැත. ඔවුහු එකෙකුවත් ලෝක සංගීතය රස විඳ නැති ඉන්දියානු ලිං මැඩියන් පමණක්ම විය. ඔවුන්  නිහාල් නෙල්සන්ගේ කුසලතාව සම්බන්ධව නොව ඔහුගේ ජනප්‍රියතාව සමග විශාල එරියස් එකක් කවර් කරමින් සිටියහ.

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

Wednesday, October 4, 2017

සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 01

නිර්මාණ කරුවකු කලා නිර්මාණයක් කරන්නේ රසිකයන් ගේ රසවින්දනය පිණිසය. සිය රසිකයන් තමන්ගේ නිර්මාණය රස විඳීම කලා කරුවා ලබනා ඉහලම සංතෘෂ්ටිය වේ. ගීතයක්, කවියක්, චිත්‍රයක්, නවකතාවක්, චිත්‍රපටයක්, නාට්‍යයක්  වැනි ඕනෑම නිර්මාණයක් සඳහා එය පොදු සාධකයකි. 

සන්නිවේදන තාක්ෂනයේ දියුණුවක් නොතිබුන පෙර කලා නිර්මාණයක්  රසිකයා අතරට ගෙන යාම විශාල අභියෝගයක් විය. මේ හේතුවෙන් එකල නිර්මාණයක් ජනගත කිරීම සඳහා විශාල සිවිල් බලයක් අවශ්‍ය විය. සිවිල් බලය නොතිබුණු කලාකරුවා කෙතරම් දක්ෂ නිර්මාපකයෙකු වුවද ඔහුගේ නිර්මාණ ජනගත නොවින.

මේ සිවිල් බලය කුමන ක්‍රමයකින් හෝ ගොඩනගා ගත් කලාකරුවන් තම සිවිල් බලය රැක ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගත්හ.  සමහරුන් ගුරු පරම්පරා ඇතිකර ගනිමින්ද, ගුරු මුෂ්ඨි රැක ගනිමින් නිර්මාණ කරණය සාමාන්‍ය ජනතාව අතරට යාම වලක්වා තිබෙනු දකින්නට පුළුවන් විණ. 

අප රටෙහි සංගීතය මේ ගුරු කුළ වෙතින් බෙහෙවින් පීඩාවට පත් වූ කලා ක්ෂේත්‍රයකි. එය තනිකරම ඉන්දියානු සංගීතය උගත් පිරිසකගේ ග්‍රහණයට යටත්ව පැවතින. එකල ගීතයක් ජනගත කිරීම සඳහා තිබු එකම මාධ්‍යය ගුවන් විදුලිය පමණි. ගුවන් විදුලි සංස්ථාව අරක්ගෙන තිබු ඉන්දීය ගුරු කුල බහිරවයන් අලුත් ගායකයකුට හෝ සංගීතඥයකුට සංස්ථා භුමියේ පස් පාගන්නට නොදුන්හ. අපහසුවෙන් හෝ අලුත් මුහුණක් මතුවූ විටෙකදී ඔවුන්ගේ තැටි සුරා විනාශ කර දැමූහ. අලුත් සංගීත ශෛලීන්ට  කිසි විටෙකත් ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවාවන් සඳහා දොර ඇරුනේ නැත. 

ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය තනිකර ඉන්දියානු සංගීතය ගුවන් ගත කරමින් සිටින්නේ වුවද, රටේ රසිකයා ඉල්ලා සිටියේ වෙනත් ආරක ගීතයන්ය. මේ සියලු බාදක මධ්‍යයේ සී ටී ප්‍රනාන්දු ගේ ගීත රටෙහි බෙහෙවින් ජනප්‍රිය වින. දේශීය බමුණු කුලයේ කුහකයින් ගුවන් විදුලි සංස්ථාවේ ශබ්දාගාර තුල සිල්ලර තාක්ෂනය යොදා ගීත තැටි ගත කරනා විට  සී ටී ප්‍රනාන්දු ගීත තැටිගත කරනා ලද්දේ එකල උපරිම තාක්ෂණය තිබුනු ලන්ඩනයේ  ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV) සහ  ‘ෆිලිප්ස්’ (Phillips) වැනි ශබ්දාගාරවල මැදිරි තුලය. ඊනියා ඉන්දීය ගුරු කුලයේ සංගීත කරුවන් ටබ්ලාවෙන් බේස් හඬ නගනා විට සී ටී ප්‍රනාන්දුගේ ගීත "ඩබල් බේස්" යොදවාගෙන මියුරු සංගීතයක් රසිකයනට දායාද කළහ. ඔහුගේ මුල් පටිගත කිරීම් අදටත් ඉහලම තත්වයෙන් පවතියි.  නමුත් සී ටී ගේ ගීත, ගුවන් විදුලියේ සිංහල සේවාවන් අරක් ගත් කුහකයන් විසින් ප්‍රචාරය කිරීම වැලක්වුහ. ඩබ්ලිව්. ඩී. අමරදේව සහ එච්. ඩබ්ලිව්. රූපසිංහ එක්ව හඬ ශ්‍රේණිගත කිරීම් වලින් සීටී ව අසමත් කළහ. තවත් අය ඔහුගේ තැටි හරහා ඉරි ඇඳ විනාශ කළහ. 

සිංහල (ඉන්දියානු) බමුණන් කෙතෙක් අකටයුතු කම් කළේ වුවද සීටී ප්‍රනාන්දු මාකට් විය. එලෙස මාකට් වුයේ එකම එක ප්‍රධාන කරුණක් නිසාවෙනි. එනම්  එකල ලොව පුරා පැතිර යමින් තිබුන "පොප්" සංගීතය සිංහල ගීත රසිකයා වෙත ගෙන ඒමයි. අමතරව සීටී ගේ ගී තැටි වල සංගීතයේ තිබු ඉහල ගුණාත්මක භාවයක් නැතහොත් කොලිටියක් පැවතීම ද කොළඹ සමාජය තුල මාකට් වීමට අමතර හේතුවක් වන්නට ඇත. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

Saturday, September 30, 2017

සිංහල ම්ලෙච්ඡයෝ

අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning,  Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති.  වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි.  

අනතුරුව අපගේ නාම පත්‍රය (Visiting Card) බලා නම වැරදියට උච්චාරණය කරනා විට අප එය නිවැරදි කරමු. අනතුරුව අපගේ භාෂාවේ අකුරු 60 කින් යුත් හෝඩිය තුල විවිධ ශබ්ධ 1064ක් සඳහා වෙනස් ලෙසින් ලිවිය හැකි බව පවසන විට ඔවුහු පුදුම වෙති. ටික වේලාවකදී අපගේ සංස්කෘතිය ගැන පැහැදෙන ඔවුහු අප රට පිලිබඳ ඉතාමත් ප්‍රසන්න ආකල්පයක් ඇතිකර ගනිති. අපගේ මිතුරන් බවට පත්වෙති.

මෙලෙස හඳුනාගත්, අප රටහි සංස්කෘතිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයකින් යුතු වූ ජපන් ජාතික මිතුරියක් පසුගිය දිනෙක අසනා ලද ප්‍රශ්නයකින් මා ඉතාමත් අපහසුතාවට පත්වුනෙමි. සිංහල බෞද්ධයන් ම්ලෙච්ඡයන් පිරිසක් වන්නේද යන්න ඇය අසා සිටියාය. රොහින්ග්‍යා සරනාගතයනට එල්ල කළ විරෝධය මාධ්‍ය මගින් ජපානය කරා ගොසින් ඇත්තේ එලෙසිනි. බෞද්ධ කාන්තාවක් වන ඇය අපගේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳ පුදුමය පල කළාය. සිද්ධිය සම්බන්ධව ඇය දැක ඇත්තේ ඡායාරුප පමණකි. වීඩියෝ දර්ශණ දුටුවේ නම් කුමක් කියනු ඇතිද? මෙය සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොව ජාතිවාදී උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ  ක්‍රියාවක් බව ඇයට ඒත්තු ගන්වන්නට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවිණ. ඇය නැවත නැවතත් අසා සිටියේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳවය. 

මේ සිද්ධිය පිටුපස ඇතියි කියවෙන පොලිස් නිලධාරියකු විසින් සරණාගත තරුණියක දුෂණය කිරීමේ චෝදනාව විදෙස් මාධ්‍ය තුල එතරම් ඉස්මතු නොවීම ලොකු දෙයකි. නැතිනම් ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් භික්ෂුන් පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත.

මේ 1983 නොවන බව අප අමතක නොකළ යුතුය. සන්නිවේදන තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමග පුවත් සැනෙකින් ලොව පුරා පැතිර යයි. අනෙක් අතට මානව හිමිකම් සහ මානව හිතවාදය පිළිබඳව ලොව පුරාම විශාල උනන්දුවක් පවතියි. 83 කළු ජූලියේදී අහිංසක දෙමළ මිනිසුන් ගිනි දැල් වලට විසිකර මරා දැමූ ආකාරයට දැන් කටයුතු කල නොහැක. 

මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ  මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බවට වාර්තා වේ. 

නමුත් ජාතිවාදය ජීවිකාව කරගත් පිරිසට රටෙහි කීර්ති නාමය පිලිබඳ කිසිදු වගක් නැත. සමස්ථ සිංහලයන් අතරින් ඉතාමත් සුළු පිරිසක් වන ජාතිවාදී ම්ලෙච්ඡයන් පිරිස මර්ධනය නොකළහොත් රටහි ප්‍රතිරූපයට ඇතිවන  ඇතිවන හානිදායක තත්වය නායකයන් තේරුම් ගත යුතුය. 

Tuesday, September 26, 2017

ඉරාජ්, වික්ටර් රත්නායකට අපහාස කරාද?

කලා නිර්මාණයක් දැනෙනා ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. කළා නිර්මාණයක් දැනෙන්නේ එක් එක් පුද්ගලයා හුරු වී ඇති රසය අනුවය. පුද්ගලයා රසයට හුරු කරන්නේ තමන් ජීවත් වන පරිසරය, සමාජය  සහ සමාජ සම්මතයයි. එක සමාජයක ඉහලින් පිළිගන්නා රසය, තවත් සමාජයක තුප්පහි රසයක් යනුවෙන් හඳුන්වනු අප කොතෙකුත් දැක ඇත. උදාහරණයක් ලෙසින් කිවහොත් 70 සහ 80 දශක තුල බොනිඑම් සහ ඇබා සංගීත කණ්ඩායම් වල ගීත ලොව පුරා සංගීත විචාරකයන් ඉහලින් අගය කරනා විට අපේ විචාරකයින් එය හැඳින්වුයේ තුප්පහි හිපි සංගීතයක් ලෙසටය. නමුත් එකල ලොව පුරා ජනප්‍රිය වූ ACDC වැනි කණ්ඩායම් වල ගීත ගැන කිසිම විචාරයක් මෙරට විචාරකයන්ගෙන් ලියවී ඇති බවක් වාර්තා නොවෙයි. ඇත්තෙන්ම විවේචනය කරන්නට තිබුනේ එම ACDC වැනි කණ්ඩායම් වල ගීතයන් ය. ඒවායේ ගී පද මාලාවන්ය.  ඉන්දියානු සංගීතයම කරපින්නාගත් ලිං මැඩියන් වන අපගේ සංගීත විචාරකයන් ඒවා අසා වත් නැත. ඇහුවාට තේරෙන්නෙත් නැත.

ඉරාජ්ගේ වීඩියෝවේ සංගීතය  මා ප්‍රිය කරනා රසයට අනුව නම් ගු ගොඩකි. හේතුව මා හුරුවී ඇති රසයට අනුව සජීව වාදනය කළ නොහැකි පරිගණක ආශ්‍රිතව වාදනය කරනා සංගීතය අප්‍රිය වීමය. මා හට එසේ වුවද තවත් පුද්ගලයකුට පරිගණක ආශ්‍රිත සංගීතය ඉමිහිරි රසයක් ගෙනෙදෙයි. පරිගණක ආශ්‍රිත වාදනයන්ගෙන් සැදුම්ලත් බටහිර ගීත මිලියන ගණනින් යු ටියුබ් හි සංසරණය වන්නේ රසිකයන් සිටිනා බැවිනි.

ඉරාජ්ගේ සංගීත වීඩියෝව විවේචනය කරනා කිසිදු පුද්ගලයකු එහි සංගීත රසය විවේචනය කරනවා මෙතක් නම් දුටුවේ නැත. විවේචනය කරන්නේ නිර්මාණයේ  කතා වස්තුවය. කතා වස්තුව විවේචනය කරන්නේද ස්වාධීන ස්ථාවරයක සිට නොවන බව හොදින්ම පෙනී යයි. එය වික්ටර් රත්නායක නමැති කුඩුව තුල සිරවී කරනා විවේචනයකි. 

වික්ටර් රත්නයකව අමතක කළහොත් අදාළ වීඩියෝවේ කතා වස්තුව වයස්ගත පිරිමින් දහස් ගණනකගේ කතාවය. එය කලා නිර්මාණයක් සඳහා විශිෂ්ඨ නිමිත්තකි. වික්ටර් රත්නායක වීඩියෝවට ප්‍රවිෂ්ඨ වන්නේ ලෙලුම් රත්නායක සිය පියා  මිය ගිය බව පවසමින් මාකට් කරනා ලද සුප්‍රකට වීඩියෝවට සමාන කොටසක් නිර්මාණයට එකතු කිරීම තුලය. 

ඉරාජ් විසින් වික්ටර රත්නායකට අපහාස කල බව පවසමින් එම නිර්මාණය සමාජ ජාලා තුලින් ඉවත් කිරීම සඳහා රිපෝට් කිරීමේ ක්‍රියා දාමයක් බුකි වීරයන් විසින් පටන් ගෙන ඇත.

වික්ටර රත්නායකට අපහාස කිරීමේ ප්‍රමුඛයා ඉරාජ් නොව ලෙලුම් රත්නායක බව නොකිවමනාය. නමුත් ලෙලුම් රත්නායකගේ වීඩියෝව රිපෝට් කිරීම සඳහා මෙවන් සංවිධිත ක්‍රියා දාමයක් අප දුටුවේ නැත. එබැවින් මේ විරෝධතාව ඉරාජ් සමග ඇරියස් කවර් කිරීමක් විය හැක. නැතහොත් ඉරාජ්ගේම නෙගටිව් මාකටින් කැම්පේන් එකකට  ඉරාජ් සමග ඇරියස් ඇති පිරිසක් නොදැනුවත්වම හසුවූවා වන්නටද පුළුවන. 

Thursday, September 21, 2017

බුදු සසුනට වින කටින්නේ අන්‍ය ආගමිකයන් නොවේ.

ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සහ සාමාජීය ව්‍යුහය බුදු දහම මුලික කරගෙන ගොඩ නැගී ඇත. සිංහල බෞද්ධයා පමණක් නොව සිංහල කතෝලිකයාද සිය පැවැත්ම තුල පෙන්නුම් කරනුයේ බුදු දහමේ ආභාශයයි. අප වෙත කතෝලික දහම පැමිණි යුරෝපීය සමාජයේ සංස්කෘතියට වඩා හාත්පසින් වෙනස් සංස්කෘතියක් සිංහල කතෝලිකයාට ඇත. සමහරක් චාර්යා රටාවන් වෙනස් වුවද ප්‍රධාන වශයෙන් කතෝලිකයා වෙත පවතිනුයේ බෞද්ධ සංස්කෘතිය වෙතින් ශික්ෂණය වූ පවුල මුලික සංස්කෘතියකි. මේ අනුව ගත් කල මුළු රටේම සංස්කෘතිය පදනම් වන්නේ බුදු දහම කේන්ද්‍ර කරගෙන බව පෙනෙයි.

නමුත් මේ වන විට දේශීය සංස්කෘතියේ  බෞද්ධ පදනම වෙත එල්ල වී ඇති තර්ජනය ඇති මහත්ය. නිදහසින් පසුව මෙරට තුල ඇතිවූ ඊනියා බෞද්ධ ප්‍රබෝධය අවසානයේ මාරක ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ රටේ බෞද්ධ සංස්කෘතියට ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්යෙන් නිදහස ලැබීමෙන් අනතුරුව බල ලෝභී දේශපාලන නායකයන් රොත්තකගේ ග්‍රහණයට හසුවිය. මේ ඊනියා නායකයින්  බලයට පැමිණීම සඳහා මෙරට පවතින බෞද්ධ පදනම නින්දිත ලෙසින් ගණිකා වෘතියේ යෙදවූ බව මෑත ඉතිහාසය අධ්‍යනය කරනා විට හොඳින්ම පෙනී යයි. බලලෝභී නායකයන් විසින් බෞද්ධ සමාජය ප්‍රධාන අවස්ථා හතරකදී දරුණු පිරිහීමකට ලක් කර ඇත.

1. බණ්ඩාරනායක විසින් බලයට පැමිණීම සඳහා පංච මහා බලවේගය නම්වූ සන්නාමය යටතේ සංඝ සමාජය අලෙවිකරණය සඳහා යොදවා ගැනීම.
2. භික්ෂු විනයට කෙලෙසකින්වත් නොගැලපෙන ලෙසින් දේශපාලන පක්ෂයක් අටවාගෙන ඡන්ද අපේක්‌ෂකයන් ලෙස භික්‌ෂූන් 260 ක්‌ පමණ මැතිවරණයට තරඟ කරවීම 
3. ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ මැර කල්ලියකට දේශපාලන අනුග්‍රහය ලබාදීමෙන් රටේ සුලු ජාතික කණ්ඩායම් පීඩනයට  කිරීම.
4. දේශපාලන නායකයින් විසින් අමු අමුවේ සිදු කරනා ලද චන්ද දුෂණ සහ මුල්‍ය අවභාවිතාවන් නිසා අධිකරණයෙන් වරදකරුවන් කරනාලද නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටීමට සංඝයා වහන්සේලා යොමු කරවා සංඝ සමාජය අවඥාවට ලක් කිරීම 

සිල් රෙදි වංචාව නිසා සිරගතවුවන් වෙනුවෙන් සංඝයා වහන්සේලා පාරට ඇද දමනා ලද දේශපාලන නායකයින් විසින් රටේ බෞද්ධ පදනමට ඇති කර තිබෙනා හානිය සුළුපටු නොවෙයි. මේ හේතුවෙන් වර්තමානයේදී, බුදු සසුනේ මුර දේවතාවුන් වන සංඝයා වහන් සේලා වෙත සමාජයෙන් විශාල විරෝධතාවයක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. එම විරෝධතාවයේ පරිමාණය සමාජ ජාලා වෙත යොමු කරනු ලබන ලිපි සහ චායා රුප ආශ්‍රිත නිර්මාණ තුලින් මොනවට පෙන්නුම් කෙරෙයි. සංඝ සමාජය වෙත විරෝධතාවය දක්වන්නන්  අතර අන්‍යාගමික පිරිස් අවම වන  අතර එහි මුලටම සිටිනුයේ බෞද්ධ පිරිස්ය.  තවද උපතින් බෞද්ධ නමුත් මේ වනවිට නිරාගමිකයන බවට හැරී සිටිනා  සෑහෙන පිරිසක් ද වෙති.

සිය දුෂණ වසා ගැනීමට අද දින  සංඝයා වහන්සේලා මහමගට ඇද දමනා ලද පිරිස විසින්ම සිය දේශපාලන යාන්ත්‍රණයට එරෙහි වූ සංඝයා වහන්සේලාට එලව එලවා පහර දුන් ආකාරය මතක් කර දීම වටියි. 2004 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කථානායක තේරීමේ චන්ද විමසීමේදී විරුද්ධ පාක්ෂික අපේක්ෂකයා වූ වී ජ මු ලොකුබණ්ඩාර දිනවීමට කටුයතු කරනා ලද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වූ සංඝයා වහන්සේලාට පහරදී ඉන් දෙනමකගේ රහසඟ මිරිකා රෝහල් ගතවන තත්වයට පත් කරනා ලද්දේ මේ පිරිස විසින්මය. ඉනිඳු  නොනැවතී රට පුරා සංඝයා වහන්සේලාට  හක් බෙල්ලන්, හක්කු, සිප්පි යනුවෙන් අවමන් කරමින් පෝස්ටර් අලවන ලද්දේද මේ පිරිසමය.  

මේවා සිදුකරනා ලද්දේ බෞද්ධයන් වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටිනා බව සැමවිට කෑමොර දෙන දේපාලන නායකයන් මිස අන්‍යාගමික පිරිස් නොවෙති.  

Sunday, September 17, 2017

පිණ්ඩපාතයේ වැඩමකර ලක්ෂ එක්දහස් හතළිහක් සෙවිය හැකිද?

සිල් රෙදි වංචා කරුවනට අධිකරණය නියෝග කරනා ලද දඩ මුදල මේ වනවිට දේශපාලනික අවස්ථාවාදීනට කදිම දඩ බිමක් නිර්මාණය කර දී ඇත. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාවට හවුල්වී සිර දඬුවම් ලබන්නාවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම කල යුත්තේ ඔවුන් දඬුවම් ලැබීමට පසුව නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ගැන කැක්කුමක් තිබුනේ නම් නඩුව විභාග කරනා අවස්ථාවේදී අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමේ අවකාශය උදක්ම තිබිණ. නමුත් කලබලවී ඇත්තේ දඬුවම් ලැබීමෙන් අනතුරුව වීම විහිළුවකි.

ලබාදී ඇති දඩ මුදලද ලේසි පහසු එකක් නොවේ. එක අයෙකුට රුපියල් ලක්ෂ 520කි ඉහලම මට්ටමේ රාජ්‍ය නිලධාරියෙකුගේ වැටුප රුපියල් ලක්ෂයකට ආසන්න ගණනකි. ඒ අනුව ගන්නා කල දඩ මුදල වසර 43 ක සම්පුර්ණ වැටුපට සමානය. මෙවන් මුදලක් ගෙවීම දුෂිතයකු නොවනා රාජ්‍ය නිලධාරියකුට සිහිනයක්ම පමණි. අදාළ නිලධාරීන් දුෂණයට පොළඹවන ලද දේශපාලන අධිකාරීනට තමන්ගේ බැංකු ගිනුමින් මේ මුදල ගෙවීමට හැකියාවක් සමහර විට තිබිය හැක. නමුන් එය ගෙවා දැමීම සියතින් වල කපා ගැනීමකි. මන්ද යත් ඔවුන්ගේද නීත්‍යානුකුල ආදායම තුලින් අදාළ මුදල ගෙවීම කෙලෙසකින් වත් සාධාරණීකරණය කල නොහැකි බැවිනි. මුදල ගෙවා දමන්නේ නම් ආදායම ලැබුණු ආකාරය ද  යුතු වන්නේය. පසුගිය රජය සමයේ වරප්‍රසාද ලද ඉහල ආදායම් සහිත ව්‍යාපාරිකයන් ද තමන්ගේ රහසිගත දේශපාලන සම්බන්ධතා එළිදරව් වන බියෙන් මුදල් ලබා දීමට ඉදිරිපත් නොවනු ඇත.

එසේනම් මේ මුදල ගෙවා දැමීමට ඇති එකම ක්‍රමය වන්නේ හිඟන විජ්ජාවය. රට වටේ කැට හොල්ලා මුදල් ලැබුණු බව ප්‍රකාශ කර තමන්ගේ කළු සල්ලි වලින් මුදල ගෙවා දැමීමය. එයද හිතනා තරම් පහසු කාරණයක් නොවන්නේ මේ වෙනුවෙන් ස්වෙච්චා සේවකයන් සොයා ගැනීමේ අපහසුතාවයයි. රැස්වීමකට සහභාගී වන්නට බත් පැකට්ටුව, අරක්කු කාල සහ රුපියල් දාහක් බලාපොරොත්තු වන පාක්ෂිකයන් අතරින් කැට හොල්ලන්නට පිරිස එකතු කර ගතහොත් සිදුවනුයේ කැට අතුරුදහන් වීම පමණි.

ඉහත කාරනා නිසා හිඟන විජ්ජාව ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා වය. උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කර පළමු දිනයේදී රුපියල් එක්ලක්ෂ නවදහස් එකසිය දහයක (රු. 109,110) මුදලක් එකතු කර ගන්නා ලද බව අන්තර්ජාලයේ විවිධ තැන්හි වාර්තා වෙයි. මේ මුදල ගෙවීමට ඇති දඩ මුදල හා සසඳන කල ඉතාමත් සුළු මුදලකි. මේ ආකාරයට මුළු දඩ මුදල් ගෙවීමට නම් එක දිගට දින 953 නැතහොත් වසර දෙකකුත් මාස හතක කාලයක් පිණ්ඩපාතේ වැඩම කිරීමට සිදුවනු ඇත. 

Monday, September 11, 2017

අනුනට සාර්ථකත්වය උගන්වන වංචනිකයන් - 1

යුග ගණනාවක් පුරා සිය මුලික අවශ්‍යතා සපුරාගෙන සරලව දිවි ගෙවූ මිනිසා සංකීර්ණ ජීවන රටාවකට යොමු වුයේ කාර්මික විපලවයෙන් පසුවය. කාර්මික විප්ලවය මිනිසා වෙත බොහෝ පාරිභෝගික භාන්ඩ රැගෙන  ආවේය. මේ පාරිභෝගික භාන්ඩ වෙත ලොල් වූ මිනිසා ඒවා හැකි තරමක් තමන් සතු කරගැනීමට තරඟයකට එළඹුණි. එයටම සමගාමීව වැඩවසම් ක්‍රමය සහ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීම තුල මිනිසාට විශාල නිදහසක්ද ලැබුනේය. 

මේ නිදහස් වාතාවරණය තුල සමාජයේ ඕනෑම සාමාජිකයකුට සිය වෙහෙස මගින් ඉහලට ගමන් කිරීමට අවකාශ ලැබිණ. ඉන් ඉක්බිතිව මිනිසා තුල එකිනෙකා පරදවා ඉහලට නැගීමේ ආශාව ඇතිවිය. වැඩි භෞතික වස්තුන් රැස් කරගන්නා පුද්ගලයා සාර්ථක පුද්ගලයකු වශයෙන් හැඳින්වින.මේ නිසා සෑම දෙනාම සාර්ථකත්වය සොයා තරඟයකට පිළිපන්නේය.

තරඟය ඉතාමත් දරුණු එකක් විය. සුළු පිරිසක් තරඟය ජය ගන්නා විට අති බහුතරයක් දෙනා පරාජිතයන් බවට පත් වුහ. නමුත් තවමත් පරාජිතයා තුල තරඟය ජයගන්නා අරමුණ පැවතිණ. 

මෙයින් ඇති කරනා ලද  රික්තය තුල පරාජිතයන් සඳහා සාර්ථකත්වයට මාවත දේශනා කරනා සාස්තෘවරු බිහි විය. ඔවුන් අසාර්ථක මිනිසුනට සාර්ථකත්වයට මග දේශනා කළහ. වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය නම මේ සාස්තෘවරුන් ගෙන් බොහොමයක් දෙනා සාර්ථකත්වය දේශනා කිරීම පටන් ගන්නා අවධිය වන විට බෙහෙවින්ම අසාර්ථක මිනිසුන් වීමය. මිනිසා තුල පවතින සාර්ථකත්වයට ඇති ලෝභය නැතහොත් කෑදරකම මේ සාස්තෘවරුන් මහා ධනවතුන් බවට පත්කරලීය.

උදාහරණයක් වශයෙන් කිවහොත් දියුණුවේ රන් දොරටුව නමින් සිංහලට පරිවර්තනය කරනා ලද Law of Success කෘතියේ සම්පාදකවරයා වන නැපෝලියන් හිල් යනු එම පොත් පෙළ ලියනා අවදිය වන විට කිහිප වතාවක් බංකොලොත් වූ පුද්ගලයෙකි. මුල්‍ය වංචා වලට හසුවූ අයෙකි. නිසි අධ්‍යාපනය හෝ අවසරය නොමැතිව නීතිඥයකු ලෙසින් පෙනී සිටි වංචනිකයෙකි. සිය ජීවිත කාලය තුල තෙවරක් දික්කසාද වූ අයෙකි. නමුත් ඔහු විසින් සාර්ථකත්වය ගැන ලියනා ලද විවිධ පොත් මිලියන 20ත් 50ත් අතර ප්‍රමාණයයන ගෙන් විකිණීමෙන් අලෙවි වාර්ථා තබා ඇත.

සාර්ථකත්වය ගැන දේශනා පවත්වන බොහෝ දෙනෙකුගේ චරිතාපදාන නැපෝලියන් හිල් ට වෙනස් වනුයේ ඉතාමත් සුළු වශයෙනි.

සාර්ථකත්ව සාස්තෘන්ගේ පොත් කියවීමෙන් හෝ දේශනා වලට සවන් දීමෙන් සාර්ථකත්වයට පත්වූ අය ගැන දැනගන්නට නම් නැත. නමුත් දේශකයන් මහා ධනවතුන් වූ  බවට නම් කොතෙකුත් වාර්ථා ඇත. මේ පොත් වලින් මිලියන ගණනක් මිනිසුන් සුරංගනා කතා තුල අතරමං කර දමා ඇත. මිලියන ගණනක් ශ්‍රාවකයන් සහ පාඨකයන් මේ වංචනිකයන් ගේ තවත් වංචාවකට නොදැනුවත්වම සිය මුදල් පුජා කර ඇත.

"සාර්ථකත්වයට ඇති හොඳම මාර්ගය අනුන්ට සාර්ථකත්වයට මාර්ගය ඉගැන්වීමය"

Saturday, September 9, 2017

ලලිත් වීරතුංග ගෙන් රාජ්‍ය සේවය පාඩමක් ඉගෙන ගනියිද?

තිස් වසරක් ඇදීගිය ඊලාම් යුද්ධය නිමකිරීමට කැපවූ ප්‍රධාන චරිත තුනකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුධ ක්‍රියාන්විතයට දේශපාලන නායකත්වය ලබා දෙන විට ජනරාල් ෆොන්සේකා හමුදා නායකත්වය සැපයුයේය. යුද්ධයක් පවතින කාල වකවානුවක රාජ්‍යතාන්ත්‍රික පරිපාලනය අත්‍යවශ්‍ය සාධකයකි. එම රාජ්‍යතාන්ත්‍රික පරිපාලනයහි නියමුවා වුයේ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේඛම් වරයාය. 

අප දන්නා පමණින් ලලිත් වීරතුංග යනු අති දක්ෂ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු කෙතරම් දක්ෂයකු වුවද  මේ වන විට රාජ්‍ය මුදල් අවභාවිතාව යන චෝදනාව යටතේ වරද කරු බවට පත්ව සිර දඬුවම්  ලබා අවසන්ය. එම දඬුවම සම්බන්ධව ඕනෑ තරම් මාධ්‍ය වාර්තා පළවී ඇති හෙයින් ඒ ගැන තවත් පැහැදිලි කිරීම් අනවශ්‍යය.

රාජපක්ෂ දශකයේ දුෂණ චෝදනා රාශියක් අතරින් වරද කරු බවට පත් වන පළමු පුද්ගලයන් බවට වීරතුංග සහ පැල්පිට මහතුන් පත් වෙති. දේශපාලන අණ ක්‍රියාත්මක කරවීම ඔවුහු මේ අවාසනාවන්ත ඉරණමට පත් වීමට හේතුව ලෙසින් බොහෝ දෙනෙකු විසින් සරලව ප්‍රකාශ කරන්නේ වුවද තිරය පිටුපස ඇත්තේ සංකීර්ණ කථාවකි.

යුධ ජයග්‍රහණයෙන් අනතුරුව පවත්වන ලද 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ අති විශිෂ්ඨ ජයග්‍රහණයකි. එම අවධිය වන විට රාජපක්ෂ මහතා කිසි දිනෙක චන්දයකින් පරාජයට පත් නොවනු ඇති බව පොදු ජන මතය විණ. යුධ ජයග්‍රහණයෙන් අනතුරුව රාජපක්ෂ ජනාධිපති වරයා වටේ සිටි හෙන්චයින් විසින් ඔහුව මහ රජාට ඇන්දීමෙන් නොනැවතී සීතාම්බර පටයක් ද අන්දවා තිබිණ. 

රාජපක්ෂ පවුලේ පුතුන් , සහෝදරයන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ද රටෙහි පරිපාලනයට ඇඟිලි ගසන්නට පටන් ගන්නේද මෙම මැතිවරණයෙන් අනතුරුවය. සුළු කලෙකින් බිහිවුයේ රාජපක්ෂ පවුලේ අණ දේව නීතිය ලෙසින් පිළිගැනීමට බල කරනා කාලවකවානුවකි. රාජපක්ෂ පවුලේ හිතවතුන් රංචු පිටින් රාජ්‍ය ආයතන වල ඉහල පුටු වලට පත් කරනා ලද්දේද මේ වකවානුව තුළදීය. රාජ්‍ය සේවය තුලට ඉමහත් බලහත්කාරයක් ඇතිවන්නට පටන් ගත්තේද මේ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුවය.

මෙම බලහත්කාරය මතින් රාජ්‍ය සේවකයාගේ කොන්ද බිඳ දමා තිබිණ. පාලකයන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මුදල්  පරිමාණයෙන් අවභාවිතය සිදුවිණ. රාජ්‍ය ආයතන වල ඉහල පුටු දේශපාලන පත්වීම් නිසා ඔවුන්ගේ තනතුරු රක ගැනීමට නම් පාලකයන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අනිවාර්ය විය. ඒවා සඳහා නීති විරෝධී ක්‍රියාදාමයන් සිදුනොකරනා නිලධාරීන් වහාම තනතුරු වලින් පහ කෙරිණ. හොඳම උදාහරණය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තනතුරෙන් පහ කරනා ලද දුෂ්ඨ ආකාරයයි.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයද  මුළුමනින් දුෂිත තත්වයකට ඇද වැටී තිබිණ. පාලකයන් විසින් තෝරාදෙන සැපයුම් කරුගෙන් සේවාවන් ලබා ගැනීම සඳහා ලිපිගොනු සකස් කිරීම සඳහා නිලධාරීනට සිදුව තිබිණ. දේශපාලනිකව පත්වීම ලද ආයතන ප්‍රධානීන්ගේ තනතුරු රැකගැනීම සඳහා විවිධ අවභාවිතාවන් කිරීමට පහල නිලධාරීනට බල කෙරිණ. එවන් අවභාවිතාවනට සහය දෙන පහල නිලධාරීනට පමණක් උසස්වීම් සහ වෙනත් ප්‍රතිලාභ ලැබිණ. ආයතන ප්‍රධානීන්ගේ දුෂණ ක්‍රියාදාමයන්ට සහය නොදෙන සහ විරුද්ධ නිලධාරීන් දුෂ්ඨ ලෙසින් පලිගැනීමට ලක් කෙරිණ. විවිධ බොරු චෝදනා නගා සේවයෙන් පහකිරීම සහ තනතුරු වලින් ඉවත් කිරීම සිදු කෙරිණ.

වංචා දුෂණ වලට විරුද්ධව සිය පෑන මෙහෙයවූ මාධ්‍යවේදීන් ඝාතනයට ලක්විය. තවත් සමහරුන් අතුරුදහන් විය.  මාධ්‍යවේදීන් පසුපස හඹා ගියේ පැරා මිලිටරි කණ්ඩායම් බවට වාර්ථා පළවිණ. රාජ්‍ය අංශය තුල පමණක් නොව රට පුරාම භීෂණකාරී මානසික තත්වයක් (fear psychosis) ගොඩනගා තිබිණ.

මෙවන් පරිසරයක් යටතේ සිදුවූ දුෂිත ක්‍රියා අපමණය. සිල්රෙදි වංචාව ඉන් එකක් පමණය. වංචා දුෂණ දහස් ගණනක් අතරින් ඉතාමත් සුළු ප්‍රමාණයක් දැනට නීතිය ඉදිරියට පැමිණ තිබේ. විභාග වූ පළමු විමර්ශනය තුලින් රටේ රාජ්‍ය සේවයේ ඉහලම නිලදරුවා සිරබත් කමින් සිටියි.

හිටපු දේශපාලන නායකයන්, ඔවුන්ගේ ඥාතීන්, ඔවුන්ගේ දේශපාලන හිතවතුන්, ඔවුන්ගේ අණ ක්‍රියාත්මක කරනා ලද මිලිටරි කණ්ඩායම් අධිකරණය වෙත ගෙන එන අවස්ථාවේ අධිකරණ භුමි වටකරනා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලන සට්ටැඹියන් මේ නඩුවේදී අතුරුදහන්ව ගොසිණි. සිය තනතුර රැකගැනීමේ චේතනාව අරමුනු කොට තමන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව මහා මුදල් ප්‍රමාණයක් චන්ද ව්‍යාපාරය වෙත පොම්ප කරනා ලද නිලධාරීන් සිරගෙට යනවිට එම මුදලේ ප්‍රතිලාභ ලද දේශපාලන නායකයන් කිසිවෙකුත් අධිකරණ භුමියේ නැත. අඩු තරමින් ඔවුන්ගෙන් ප්‍රකාශයක් වත් නැත.

රාජ්‍ය සේවකයා වෙත තනතුරු නමැති ටොපි ලබාදී අනෙක ප්‍රතිලාභ ලබාගන්න දේශපාලනඥයින් අවසානයේ සිය රාජ්‍ය සේවක සට්ටම්බියන් තනිකර දමනා ආකාරය පිළිබඳව මෙයට වඩා උදාහරණ නැත. 

එම අර්ථයෙන් ගන්නා කල, ලලිත් වීරතුංග යනු රාජ්‍ය සේවකයාට හොඳ රතු එළියකි. නමුත් අවාසනාවට කාරණය වන්නේ රාජ්‍ය සේවයේ බහුතරයක් වන නිසි සුදුසුකම් හෝ දක්ෂතා සපුරා නොමැති පිරිස් සඳහා උසස්වීම් සහ ප්‍රතිලාභ ලැබීමට සරණ යන එකම මාර්ගය, අවභාවිතය සහ දුෂණය තුලින්  දේශපාලකයක් පිනවීම පමණක්ම වීමය. 

Saturday, September 2, 2017

මොබයිල් දුරකථන වංචාවට ඔබත් හසුවෙලාද?

අසරණ මිනිසුන් මුලා කොට මඩිය තර කරගන්නා වංචා කරුවන් කොතෙකුත් සිටිති. ඔවුන් වංචා සඳහා අනුගමනය කරනා ක්‍රමවේද විවිධාකාරය. බොහෝ වංචා කරුවන් ඉතාමත් සුළු කාලෙකින් හෙළිවී සමාජයේ කළු චරිත බවට පත් වෙති. ඒ අතරම වංචා කරුවනට ඍජුව හෝ වක්‍රාකාරව සහය දී තමන්ටද කොටසක් කඩා ගන්නා තවත් පිරිසක් වෙති. මොවුන් සමාජය ඉදිරියේ සුදු පිරුවට පෙරවාගෙන සිටිනා සමාජයේ සම්මත වැදගත් පිරිසකි. කට්ටඩින්, හූනියම් කරුවන්, වශී කරුවන්, සාස්තර කරුවන්, ස්ත්‍රී රෝග සහ ලිංගික දුබලතා වලට නොවරදින ප්‍රතිකාර ලබාදෙන හොර වෙදුන් වෙනුවෙන් මුදලට දැන්වීම් සහ ලිපි පළකර සිය ආත්මය පාවාදෙන මාධ්‍යවේදීන් සහ පුවත් පත් හිමිකරුවන් සුදු චරිත වංචා කරුවන් අතරින් ප්‍රධානය. 

තාක්ෂණ දියුණුව සමගම වංචා කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටිනා නවතම පිරිස මොබයිල් දුරකථන සමාගම්ය. 

මෙම ලිපියේ ඉහලින් ඇත්තේ එවන් වංචාවක් සඳහා මිනිසුන් ඇදගනීමට ජාතික පුවත් පතක පළකරනා ලද දැන්වීමකි. එහි ඇත්තේ නිවසේ සිට අමතර ආදායමක් ඉපයීමට ක්‍රමය කියාදීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය යි. එම දැන්වීමට අනුව ක්‍රමවේදය දැනගැනීමට ඉලක්කම් පහකින් යුතු අංකයකට කෙටි පණිවිඩයක් යවා ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වන ආයතනයේ නමක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් දක්වා නැත. දුරකථන සමාගම් දෙකක පාරිභෝගිකයනට පමණක් මෙම සේවාව ලබා දෙන බවද එම දැන්වීමේ සඳහන් වෙයි අවසානයේ අදාළ ගාස්තුවද සඳහන් කොට ඇත. නමුත් දැන්වීමේ පහළින්ම ඇති එම කොටස කියවීමට පියවි ඇසින් නුපුළුවන. 

මේ දැන්වීම දකිනා කවුරුන් හෝ අදාළ අංකයට කෙටි පණිවිඩය යවා ලියාපදිංචි වුයේ නම් මසකට රුපියල් 30 ක මුදලක් සහ එයට අදාළ බදු මුදල දුරකථන අංකයේ බිලට එකතු වෙයි. ලියා පදිංචි වන විට එය අවලංගු කිරීමට භාවිතා කලයුතු කෙටි පණිවිඩ අංකය ලබා දෙන බවද කිව යුතුය. එම අංකය නැතිවුයේ නම් ලියා පදිංචිය අවලංගු කිරීම සඳහා දුරකථන සමාගමේ වෙබ් අඩවියට ලොග් වීම හෝ පාර්භෝගික සේවා මධ්‍යස්ථානය ඇමතිය යුතුය. නැතහොත් දුරකථන සමාගමේ කාර්යාලයකට යා යුතුය. 

දුරකථන සමාගමේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචිය අවලංගු කිරීම තරමක තාක්ෂණික ක්‍රියාවලියකි.  දුරකථන සමාගමේ පාර්භෝගික සේවා අංශයට කථාකර පාර්භෝගික සේවා නිලධාරියකු අල්ලාගැනීම සමහර විට විනාඩි පහක් පමණ ගතවන කාරියකි. සම්බන්ධ වුවද බොහෝ විට සිදු වන්නේ දුරකථනය විසන්ධි වීමය. 

ලියාපදිංචි වූ අයකුට වරින් වර අදාළ සේවාව පිලිබඳ කෙටි පණිවිඩ ලැබෙයි. ඉන් සමහරක තොරතුරු දන ගැනීම සඳහා පිවිසිය යුතු වෙබ් අඩවියට පිවිසීමට කේතය ලැබෙයි. කෙටි පණිවිඩ කිහිපයක් ලැබීමෙන් පසුව කිසිදු විස්තරයක් ලැබෙන්නේ නැත. නමුත් අදාළ ලියාපදිංචිය අවලංගු කරනා තෙක්ම මසකට රුපියල් 30ක් සහ බදු මුදල අදාළ දුරකථන අංකයෙන් අය වෙයි. මෙලෙස අයකරගන්නා මුදල අදාළ වංචා කරුවා සහ දුරකථන සමාගම අතර කුමන ප්‍රතිශතයකින් බෙදී යන්නේද අප නොදනිමු. නමුත් මුදල අය වන්නේ දුරකථන සමාගම හරහාය. 

වංචා කරුවන් විසින් මෙවන් පුවත් පත් දැන්වීම් පලකිරීමට අමතරව දුරකථන සමාගම් වලට මුදල් ගෙවා අලෙවි ප්‍රවර්ධන ඇමතුම් මුවාවෙන් මෙවන් වංචාකාරී සේවාවන් සඳහා අදාළ සමාගමේ පාරිභෝගිකයන් ලියාපදිංචි කරවයි. සමහර දුරකථන සමාගම් වල ප්‍රවර්ධන ඇමතුම් වලට එක අංකයක් එබීමෙන් පමණක් ලියාපදිංචි විය හැක. මෑතකදී මා හටද ඉන්දික කොඩිතුවක්කු ගෙන් දිනපතා පලාපල දැනගැනීම සඳහා මෙවන් වංචාකාරී සේවාවකට ලියාපදිංචි වන ලෙස පාර්භෝගික සේවා ඇමතුමක් ලැබිණ. 

මේ ලිපිය කියවන ඔබද නොදැනුවත්වම එවන් වංචා වලට හසුවී වසර ගණනාවක් තිස්සේ වංචා කරුවන් සහ දුරකථන සමාගම් පොහොසත් කරමින් ඉන්නවා වන්නට පුළුවන. එබැවින් වහාම ඔබගේ දුරකථන සමාගමේ පාරිභෝගික සේවා අංශය අමතා එවන් වංචනික සේවා වලට ලියාපදිංචි වී ඇතිදැයි සොයා බලා ලියාපදිංචිවූ වංචනික සේවාවන් ඇති නම් ඒවා අවලංගු කරදමා ඔබගේ වටිනා මුදල් ආරක්ෂා කර ගන්න.

Tuesday, August 29, 2017

මාළු කපන්නට රුපියල් එක්ලක්ෂ අනූ හත් දාහක්?

මේ ඡායාරුපයේ  දැක්වෙනුයේ ජාතික පුවත්පතක පළකරනා ලද  දැන්වීමකි. මෙම දැන්වීමට අනුව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ඇසුරුම් කටයුතු සඳහා වන රැකියාවක වැටුප රුපියල් එක්ලක්ෂ අනුහත් දහසකි (රු.1,97,000). අධ්‍යාපන සුදුසුකම අට වසර සමත් වීම පමණි. මෙය නැවක රැකියාවක් බව CDC සහතිකය එනම් නාවිකයන් සඳහා වන අඛණ්ඩ මුදාහැරීමේ සහතිකය ඇති හෝ නැති අයට අයදුම් කළහැකි බව පවසා ව්‍යංගයෙන් පවසා ඇත. නිසි අධ්‍යාපනයක් නොමැති ජවයෙන් යුතු තරුණ පිරිස් වෙත මේ ගෙවන්නේයැයි පවසන වැටුප අතිශය ආකර්ශණීය එකකි.

මේ දැන්වීම දෙස හොඳින් බලන විට දැන්වීම් කරුවාගේ ලිපිනයක් නොමැති බව පෙනී යයි. පුවත්පත භාරයේ ලිපි යොමු කිරීමට අංකයක් හෝ තැපැල් පෙට්ටි අංකයක් නොමැත. ස්ථාවර දුරකථන අංකයක් හෝ ෆැක්ස් අංකයක් ද නැත. ඇත්තේ  මොබයිල් දුරකථන අංකයක් පමණි. 

මෙම රැකියා ඇබෑර්තුව සම්බන්ධව සැක පහල වුවද එය ව්‍යාජ දැන්වීමක් හෝ වංචනික දැන්වීමක් යයි කීමට තවමත් සාක්ෂි නොමැත. 

නමුත් මේ හා සමාන වෙනත් දැන්වීමක් සම්බන්ධව බ්ලොග් කරුගේ අත්දැකීමක් හෙළි කිරීම මෙම දැන්වීම වංචාවක් වන්නේ නම් පරිස්සම් වීම සඳහා ලියා තබමි.

මීට වසර තුනකට පමණ පෙර මේ හා සමාන දැන්වීමක් මෙම දැන්වීම පළකර ඇතියි කියවෙන පුවත් පතෙහිම පළකර තිබිණ. අදාළ පුවත්පත ඕනෑම කුණුගොඩක් පිලිබඳ දැන්වීම් පලකිරීම සඳහා භාර ගන්නා ජාතික යයි කියා ගන්නා එකකි. එය සාත්ස්තර කරුවන්, කට්ටඩින්, හදි හූනියම් කරුවන්, වශී ගුරුකම් කරුවන් වැනි රැවටිලි කරුවන් ගේ පාරාදීසයකි. රැවටිලි කරුවන්ගේ දැන්වීම් පලකිරීම එහි ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බවට විවේචන පවතියි.

එම පුවත් පතෙහි මීට පෙර පල කරනා ලද දැන්වීමක ඇලස්කාවේ මාළු ඇසුරුම් කර්මාන්ත ශාලාවක මාළු කැපීම සඳහා වන ඇබෑර්තු රැසක් ඇති බව පල කර තිබිණ. වැටුප රුපියල් 1,75,000/-කි. මේ දැන්වීම දුටු  මාගේ  බිරිඳගේ මිතුරියක් එය සම්බන්ධව උනන්දු වී තිබුනේ ඇයගේ සැමියාට වැඩි වැටුපක් සහිත විදේශ රැකියාවක් සොයමින් සිටි අවධියකදීය. ඇය මේ දැන්වීම මගේ බිරිඳට පෙන්වූ වහාම මා හට දුරකථන ඇමතුමක් දුන් මගේ බිරිඳ මේ ගැන සොයා බලනා ලෙස දන්වා සිටියාය. මගේ පළමු ප්‍රශ්නය වුයේ ඒජන්සි කරුවා ගේ ගාස්තුව කොපමණද යන්නය.ඒ වන විටත් මිතුරියන් දෙදෙනා අදාළ අංකයට කථා කර අවසන් බව දැන ගැනීමට හැකි වුයේ කිසිදු ගාස්තුවක් ය නොකරනා බව කීවේ යයි මගේ බිරිඳ පැවසීම නිසාය. එවිට මා කීවේ මෙතරම් විශාල වැටුපකට විදේශ රැකියාවක් ලබා දෙන්නේ නම් ඒජන්සි කරුවාගේ ගාස්තුව අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 කට වඩා වැඩි වනු ඇති බවය. "කවුරු හරි උදව්වක් ඉල්ලුවාම ඒක කරලා දෙන්නේ නැතිව පණ්ඩිත කම් කතා කරනවා" යනුවෙන් දුර කථනයේ අනෙක් පසින් තැටියක් වාදනය විය. 

මිතුරිය සහ අගේ සැමියා අදාළ රැකියාව සම්බන්ධව මරදානේ උත්සව  ශාලාවක, ඒජන්සිකරුවා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වූ බව දින දෙකකට පසුව දැන ගැනීමට ලැබිණ. සම්මන්ත්‍රණයට 800ක පිරිසක් සහභාගී වී තිබිණ. එහිදී කියා තිබුනේ ඊළඟ සතියේ විදේශ ගත වීමට සුදානම් වන ලෙසත්, වීසා සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව මරදානේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබා ගන්නා ලෙසත්ය. වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් දහතුන් දහසකි. මෙය වංචාවක් බව මා කෙතෙක් කීවද රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන් දහසක වැටුප සැමගේ ඇස් ගිනිකණ වට්ටවා තිබිණ. 

රුපියල් දහතුන් දහස ගෙවා වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා ගැනිණ. එදින සිට දින දෙකක් ගතවෙන තෙක් දුර කථනය නාද වුවද පිළිතුරු නොවිණ. දින දෙක අවසානයේ දුරකථන ඇමතුමට පිළිතුරු ලැබිණ. ඒ ඒජන්සි කරුවාගෙන් නොව දුරකථන සමාගමෙනි. "මෙම දුරකථනය භාවිතයේ නොමැත" යන්න ලැබුණ පිළිතුරය.

අනතුරුව වසරකට පමණ පසුව නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායම සහ පොලීසිය එක්ව ඒජන්සිකරුවාව අත්අඩංගුවට ගත් බව වාර්ථා විය. නමුත් නඩු පැවරූ බව දැනගන්නට නැත. ලබා ගන්නා ලද මුදලට වෛද්‍ය පරීක්ෂණ වාර්ථාව ලබා දී ඇති නිසා සමහර විට නඩු නිමිත්තක් නැතිද යන්න නොදනිමු. කෙසේ හෝ ඒජන්සි කරුවා රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් අහිංසකයින් රවටා වංචා කර ඇති බව බැලුම් ගලෙහි කියවින.

Sunday, August 27, 2017

ජපානයේ නින්ජාවරු

නින්ජා යන නම ඇසුණු සැනින්ම අප හට මතක් වන්නේ සටන් කරුවන් පිරිසකි. නමුත් ඇත්තෙන්ම නින්ජාවරු යනු ඔත්තු කරුවන් ය. නින්ජා සටන් කලාව ලෙසින් අප හඳුන්වන්නේ මෙම ඔත්තු කරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රගුණ කරනු ලබනා සටන් විධික්‍රමයයි. නින්ජා සටන් ක්‍රම කලාත්මක බවකින් යුක්තය. නමුත් මාරාන්තිකය. 

නින්ජා ඔත්තුකරුවන් පාරම්පරිකවම එම වෘතියේ යෙදුනාවූ පිරිසකි. නින්ජා වරයකු වීම සඳහා පුහුණුව ළදරු වියේදීම පටන් ගනු ලබයි. නින්ජා වරුන් පවසනුයේ තම වෘතිය වේගය මත රඳා පවතින්නක් බවය. තමන් ලබා ගන්නා තොරතුරු හැකි තරම් වේගයෙන් අදාළ ස්ථාන වලට ලබා දීම ඔවුන්ගේ වගකීමය. මේ නිසා නින්ජා පුහුණුවේ පළමු අදියර වේගයෙන් ඇවිදීමේ පුහුණුව ලබා ගැනීමය. සෙනග ගැවසෙන ස්ථානයක දිව යන මිනිසකු නිතරම අනුන්ගේ අවධානයට යොමුවන නිසා ඔවුහු දිව යන තරම් වේගයෙන් ඇවිදගෙන යාමට පුහුණු වෙති.  කිරිගොට්ටක් වැනි බට පතුරු වලින් සකසන ලද හිස් වැසුමක් උදරයේ රඳවාගෙන, එය නොවැටෙන ලෙසින් ඇවිද යාම වේගවත්ව ඇවිද යාම සඳහා සිදුකරනා පුහුණුව වෙයි.

නින්ජා ඔත්තු කරුවන් අති දක්ෂ සටන් කාමීහු වෙති. ඔවුන්ගේ සටන් ආයුධ අතර කඩු ප්‍රධාන තැනක් ගන්නා නමුදු කිසිවකුට නොපෙනෙන ලෙස සඟවා යා හැකි කුඩා ආයුධ රැසක් ඔවුන් භාවිතා කරති. කෙතරම් ආයුධ තිබුනද, ඒ සියල්ලට වඩා වටිනාම අවිය මුදල් බව නින්ජා වරු පවසති. එබැවින් නිතරම  විශාල මුදල් ප්‍රමාණයක් සඟවා තබා ගැනීම සඳහා රහස් ගබඩා නින්ජා නිවෙස් වල ඇත. සමහර රහස් ගබඩා වලට පිවිසීමට නිවසේ ජනේලයක් විවෘත කර ජනේලයේ උලුවස්සෙන් කොටසක් ඉවත් කල පසුව පොලව ආවරණය කරනා ලීයක් ගැලවීම මගින් සිදු කල හැක. එම දොරටුව කිසිවකුටත් තේරුම් ගත නොහැක. එමෙන්ම සතුරන් වටකරනා ලද අවස්තාවක නිවසින් පිටව යාම සඳහා රහස් දොරටු රැසක් මේ නිවාස වල පවතියි.

නින්ජා වරු භාවිතා කරනා ආයුධ අතරින් බොහොමයක් තියුණු ලෙස  සුවිශේෂී වානේ වලින් සාදා විෂ පෙවූ මාරාන්තික ඒවා වන අතර එම ආයුධ කිසිවකු ඇස නොගැටෙන ලෙසින් සඟවා ගෙන යා හැකි ආකාරයට ආවරණ සහිතය. උදාහරණයක් ලෙසින් කිවහොත් සංගීත නාදය ඉපදවන ලෙස වාදනය කල හැකි බටනලාවල තියුණු සිහින් පිහි සඟවා ඇත. මේ බටනලා නින්ජා කාන්තාවන් නිතර භාවිතා කර ඇති ආයුධ අතරින් එකකි. බටනලාව වාදනය කරනා අතර සිය වසඟයට ගන්නා සතුරන් බටනලාව තුලින් ඉවතට ගන්නා පිහියෙන් ඝාතනය කර නැවත පිහිය බටනලාව තුල රුවාගෙන නලාව වාදනය කිරීමට ඔවුනට හැක.

සිය ඇඟිලි අතර රුවාගෙන විසිකිරීම මගින් පහරදිය හැකි තාරකා නම් වන ආයුධයෙහි නිපුන තාව  දක්ෂ නින්ජා වරයකු අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළයුත්තකි. 

මේ වනවිට නින්ජා වරුන්ගේ ඔත්තුකාර සේවය සඳහා අවශ්‍යතාවයක් නොමැත. නමුදු පාරම්පරික නින්ජා පවුල් කිහිපයක් සිය ශිල්පී ක්‍රම නැසී යාමට නොදී පවතවාගෙන යති. මේ වනවිට ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරකයන් සඳහා නින්ජා සටන් ක්‍රම සංදර්ශන පැවැත්වීමය. සංචාරකයන් සඳහා පවත්වන මේ සංදර්ශන තුලින් ජපානය වෙත විශාල විදෙස් විනිමයක් නින්ජා වරුන් ගෙන එති. 

Wednesday, August 23, 2017

වෙනස සැපද?

යහපාලන රජය පිහිටුවීමට දර දිය අදිනු ලැබූ පිරිස බොහෝය. මේ අතරින් බහුතරයක් කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, පැවති දුර්දාන්ත පාලන ක්‍රමය පෙරලා දැමීමේ අදහසින්ම පමණක් කටයුතු කරනා ලද පිරිසකි. මෙයට පෙරදී ආණ්ඩු පෙරළි සඳහා පෙරමුණ ගනු ලැබුයේ සමාජ ක්‍රියාකාරීකයන් සහ මාධ්‍යවේදීන්ය. නමුත් යහපාලන රජය පිහිටුවීමේ පෙරමුණ ගෙන සිටියේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන්ය. එය තාක්ෂණයේ දියුණුවත් සමගම බිහිවූ නව ප්‍රවනතාවකි.  ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ල රාජපක්ෂ ගැතිව සිටි අවදියක විපක්ෂ දේශපාලනය සඳහා ඉතිරිව තිබුනේ ෆේස් බුක් ප්‍රධාන සමාජ මාධ්‍ය පමණකි.

නව රජය බිහිවීමත් සමගම රජයේ ප්‍රධාන තනතුරු සමහරක් සඳහා යහපාලන ප්‍රතිපත්ති වෙත කිසි ලෙසකවත් නොහොබිනා චරිත කිහිපයක් තෝරා ගැනිණ. වෙනස වෙනුවෙන් කැපවූ පිරිස් "දැන් වෙනස සැපද?" ලෙසින් ගර්භාවට ලක් වන මට්ටමට සමහර තීරණාත්මක  තනතුරු වෙත පත් කරනා ලද පුද්ගලයන්ගේ පෙර ක්‍රියාකලාපය නොහොබිනා මට්ටමක පැවතිණ. නමුත් සමාජ ජාල හෙළිකිරීම් මැද එවන් බොහෝ පුද්ගලයින්ගේ තනතුරු ගලවා දැමීමට රජයට සිදුවිය. 

කවුරුන් කෙසේ විවේචනය කලද මේ වනවිට යහපාලන රජය පිහිටුවීම නිසා රටෙහි සුවිසල් සාමාජීය සහ දේශපාලනමය ප්‍රගමනයක් සිදුව ඇත. පෙර දුර්දාන්ත සමයේදී රජය විවේචනය කරනා ලද පුද්ගලයනට සුදු වෑන් සාත්තුව ලැබුනද නව රජය තුල එවන් ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියා පසුගිය වසර දෙක පුරාවට වාර්තා වුයේ නැත. මේ වෙනස රාජපක්ෂ කුක්කනට බොරදියේ මාළු බෑමට කදිම අවස්ථාවක් උදා වී ඇත. අවම වශයෙන් සෑම සතියකට වරක් ප්‍රධාන මාර්ග හරස් කරමින් පවත්වන විරෝධතා සාමාන්‍යකරණය වී ඇති බව දක්නට ලැබෙයි. රාජපක්ෂ රෙජීමයේ අනුග්‍රහයෙන් සහ මුල්‍ය ආධාරයෙන් ආරම්භ කරනා ලද සයිටමයට විරුද්ධව අද ජනතාව පෙළමින් විරෝධතා දක්වනුයේ රාජපක්ෂ කුක්කන් වීම පුදුමයට හේතුවක් නොවන්නේය.

පසුගිය සති කිහිපය තුල ජනමතයට හිස නවමින් චෝදනා වලට ලක්වූ රජයේ ප්‍රධාන අමාත්‍ය වරුන් දෙදෙනකු ඉවත් කිරීමට රජය ගන්නා ලද තීරණය රටෙහි ඉදිරි ගමන කෙරෙහි බලාපොරොත්තු තබා ගත හැකි තත්වයක් උදාකර ඇත. එය තවත් අතකින් අනෙකුත් දේශපාලන නායකයනටද රතු එලි දල්වීමකි. එනම් චෝදනා වලට ලක් වුවහොත් කුමන තරාතිරමක සිටියද බේරා ගැනීමට කිසිවකු නොමැති බව මතක් කර දීමකි. 

දිනෙන් දින සිය වපසරිය පුළුල් කරගන්නා සමාජ ජාලා ක්‍රියා කාරීත්වය හේතුවෙන්, චෝදනා වලට ලක් වන නායකයන්ට එරෙහිව රජය කෙරෙහි ඇතිවන පීඩනය මහා මාර්ගය හරස් කරමින් ජනතාව පීඩාවට පත් කරනා විරෝධතාවනට වඩා සිය දහස් ගුණයකින් විශාලය. කොරේ පිට මරේ කීවාක් මෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත ක්‍රියාකාරී වීම, සන්නිවේදන තාක්ෂණයේ දියුණුව කරනකොට ගෙන  දත්ත විශ්ලේෂණය සඳහා තිබෙන අවස්ථා නිසා දුෂණ හෙලිකරගැනීමට ඇති හැකියාව මෙන්ම  රජය විසින් මර්ධනයෙන් තොරව පවත්වාගෙන  යන ප්‍රජාතාන්ත්‍රීය පාලන ක්‍රමවේදය නිසා විවේචනය සඳහා පොදු ජනතාව බිය නොවීම සියලු අයථා ක්‍රියා වලකා ලීමට හේතුවක් වනු ඇත.

අවසානයේ කිව යුත්තේ වෙනස සැප බවය.

Monday, July 17, 2017

දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන්

විවිධ බලපෑම් සහ රාජ්‍ය බලය යොදවමින් විනාශ කරනා ලද ක්‍රිස්තියානි පාසල් අධ්‍යාපන ක්‍රමය තුල පවතින සමානාත්මතාව පිළිබඳව ඉතාමත් වටිනා ආදර්ශයක් සහිත නිදසුනක් මෙම පැරණි රාවය ලිපිය ගෙනහැර දක්වයි. 

දේවගැති ඩබ්ලිව්.ජේ.ටී. ස්මෝල්  රිච්මන්ඩ් විදුහල පාලනය කරනා ලද ජේම්ස් ඩැරල්ගේ අනුප්‍රාප්තිකයාය. ඩැරල් එතෙක් රිච්මන්ඩ් විද්‍යාලයේ ගමන් මග කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කළ විදුහල්පතිවරයාය. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ඒ අඩුව පිරවීමට සුදුසු විදුහල්පතිවරයෙකු තමන්ට නොලැබෙනු ඇතැයි කියන අපේක්ෂාභංග හැඟීම්වලින් එම විද්‍යාලයේ ශිෂ්‍යයන් වෙලීසිටින අවස්ථාවකදී ස්මෝල් ඔවුන් අතර වඩා හොඳ අලූත් බලාපොරොත්තු ඇති කළේය. මේ දෙදෙනාම බ්‍රිතාන්‍ය ජාතික මෙතෝදිස්ත පූජකයෝ වූහ. ස්මෝල් කේම්බ්‍රිජ් උපාධිධාරියෙකි. ඔහු දේවගැතිවරයකු වුවද දේවධර්මයට සීමා නොවූ විද්‍යා උපාධිධාරියෙක් විය. ඉංග්‍රීසි භාෂාව හැරුණු විට ලතින්, ග්‍රීක්,  ප්‍රංස හා ජර්මන් යන භාෂාද දැන සිටියේය. ගණිතය ඔහුගේ ප්‍රියතම විෂය විය. ස්මෝල් 1906 සිට 1920 දක්වා එම විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය. 1926 සිට 1953 දක්වා වෙනත් විවිධ රටවල මිෂනාරී කටයුතුවල නිරතවී 1956 පෙරළිය ආසන්නයේ නැවත ලංකාවට පැමිණ ඉන්පසු මරණය තෙක්ම ලංකාවේ ජීවත් විය. ස්මෝල් සිය විදුහලේ ශිෂ්‍යයන් අතර ජාතික අභිමානය ඇති කිරීම සඳහා ජාතික සංගමය නමින් සංවිධානයක් ඇති කළේය. 56 ආගමික හා භාෂාමය විප්ලවය කෙරෙහි බලපෑ ප්‍රධාන චරිත දෙකක් (පී.ද එස්. කුලරත්න හා එල්.එච්. මෙත්තානන්ද) ස්මෝල් විදුහලේ පවත්වාගෙන ගිය ජාතික අභිමාන ව්‍යාපෘතියේ උද්යෝගිමත් අනුගාමිකයෝ වූහ. ලංකාවට පැමිණ බණ්ඩාරනායකගේ 56 විප්ලවය නරඹමින් සිටි අවස්ථාවේදී ඒ විප්ලවයේ ප්‍රමුඛ චරිත දෙකක් තමා පාසලට හඳුන්වා දෙන ලද ජාතික අභිමාන ව්‍යාපෘතිය නැමති ගර්භාෂයේ හැදුණු අය බව පෙනුණු විට ස්මෝල් තුළ ඇතිවන්නට ඇත්තේ කෙබඳු හැඟීමක්ද යන්න පැහැදිලි නැත. කුමන ආගමකට හෝ කුමන ජාතියකට අයත් වුවද ස්මෝල් ගුරුවරයකු සඳහා පමණක් නොව පැවිදිවරයකු සඳහාද දැක්විය හැකි හොඳ ආදර්ශ ප්‍රතිරූපයක් ලෙස සැලකිය හැකිය. ඔහු අධ්‍යාපනය සඳහා පූර්ණ කැපවීමක් පෙන්නුම් කළ හා ඉතාමත් සරල, චාම් ජීවිතයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විය.

නායකයන් හොඳට හෝ නරකට ලබාදෙන ආදර්ශයන් අනුගාමිකයන් කෙරෙහිද බලපායි. මහා ගණයෙහිලා සැලකිය හැකි ශ්‍රේෂ්ඨ නායකයන් ලබාදෙන ආදර්ශ සමහර විට සමාජය කෙරෙහි අවුරුදු දහස් ගණනක් බලපායි. ඉවසිය නොහැකි තරමට ගඳගහන රටක තත්ත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකාවට ස්මෝල් ලබාදී තිබෙන මහා ආදර්ශයක් මෙසේය.

ආර්.ඒ. ඩි මෙල් හ ඩී. එම්. රාජපක්ෂ
ස්මෝල් දේවගැතිවරයකු වුවද ක්‍රීඩාවට මහත් සේ ඇලූම් කළේය. ඔහු විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සඳහා අනුපමේය සේවයක් කළේය. එකල රිච්මන්ඞ් විද්‍යාලයේ ක්‍රිකට් නායකයා තෝරාගනු ලැබුවේ පාසල් ශිෂ්‍යයන්ගේ ඡන්දයෙනි. සාකච්ඡාවට ලක් කරන්නට යන මෙම අපූරු සිද්ධිය සිදුවී තිබෙන්නේ 1916දීය. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට සිටි සුදුසුම පුද්ගලයා වී ඇත්තේ පෙර වසරේත් විදුහලේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රියා කළ ඩී. එම්. රාජපක්ෂය. ඩී.එම්. රාජපක්ෂ 1936 සිට 1948දී මියයන තෙක්ම හම්බන්තොටින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ රුහුණේ සිංහයා නමින් හැඳින්වුණු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා (පියාගේ සහෝදරයා) ය. ඔහුගේ තරඟකරු වූයේ ලංකාවේ ප්‍රමුඛ ධනවත්ම පවුලකින් පැවත එන ආර්.ඒ. ඩි මෙල්ය. ඔහු 1940 සිට නිල වාර දෙකක් කොළඹ නගරාධිපති වශයෙන් ක්‍රියා කළ අතර 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දකුණු කොළඹ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයාය. 1948දී ඡන්ද පෙත්සම් නඩුවක් නිසා ඔහුට මන්ත්‍රීකම අහිමි විය.

ආර්.ඒ. ඩි මෙල්ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වුවත් ඩී.එම්. රාජපක්ෂට සම මට්ටමේ තැබිය හැකි ක්‍රීඩකයෙක් නොවීය. ඉතා ධනවත් පවුලකින් පැවත එන්නකු වීම හේතු කොටගෙන ඔහු ක්‍රිකට් නායකයා තෝරන තරගයට ඉදිරිපත් වන අවස්ථාව වනවිට විශාල වශයෙන් ශිෂ්‍යයන්ට කෑමබීමෙන් සංග්‍රහ කිරීමෙන් විදුහලේ ශිෂ්‍යයන් අතර ජනප්‍රිය පුද්ගලයකු බවට පත්ව සිටියේය. අවසානයේ ක්‍රිකට් නායකයා තෝරන තරගයෙන් ඒ තනතුර සඳහා සුදුසුම පුද්ගලයාව සිටි ඩී.එම්. රාජපක්ෂ පරාජය කොට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත්වීමට ඔහු සමත් වී තිබේ.

මෙල්ගේ ජයග්‍රහණය හා රාජපක්ෂගේ පරාජය විදුහල්පති ස්මෝල් ශිෂ්‍යයන්ට දැනුම් දෙන ලද්දේ ඒ උද්වේගකර අවස්ථාවට සහභාගි වූ සියලූදෙනා විස්මයට පත්කරන දැනුම්දීම් ගණනාවක්ද ඇතුළත් වන ආකාරයටය. ඩී.එම්. රාජපක්ෂ පරාජය වී ශිෂ්‍ය ඡන්දයෙන් ආර්.ඒ. ඩි මෙල් තේරී පත්ව සිටින බව පළමුවෙන් ඔවුන්ට දැනුම් දුන්නේය. හෙට සිට ඩී. එම්. රාජපක්ෂ රිච්මන්ඞ් විද්‍යාලයේ අධ්‍යාපනය නොලබනු ඇති බවත් ඒ වෙනුවට කොළඹ වෙස්ලි විද්‍යාලයට එකතු වනු ඇති බවත් ප්‍රකාශ කරමින් එම වසරේ රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම කිසිම ක්‍රිකට් තරගයකට සහභාගි නොවනු ඇති බවත් ප්‍රකාශ කළේය. විදුහල්පති ස්මෝල්, රාජපක්ෂගේ පරාජය කෙරෙහිත් ආර්.ඒ. ඩි මෙල්ගේ ජයග්‍රහණය කෙරෙහිත් දූෂණය බලපෑ ආකාරය සියැසින් දැක්කේය. මෙල් ජයගත්තේ ඒ තනතුරට සුදුසුම පුද්ගලයා වීම නිසා නොව එම ජයග්‍රහණය ලබාගැනීම සඳහා අත දිගහැර වියදම් කිරීමට ඔහුට පුළුවන්කම තිබුණු නිසාය. මෙල්ගේ ආගම ක්‍රිස්තියානි වුවත් රාජපක්ෂ බෞද්ධයෙක් විය. ස්මෝල් ක්‍රිස්තියානි දේවගැතිවරයකු වුවද ක්‍රිස්තියානි ශිෂ්‍යයකු බෞද්ධ ශිෂ්‍යයකු යටපත් කරමින් ලැබූ අයථා ජයග්‍රහණය ඉවසන්නට ඔහු සූදානම් නොවීය. තමන්ගේ විද්‍යාලයේ ශිෂ්‍යයන් යුක්තියට පක්ෂපාත නොවී මෙල්ගේ නිර්ලෝභී සංග්‍රහයන්ට නතුවී අයුක්තිය ජයග්‍රහණය කරවීමට දායකවීම ඔහුගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. ඒ වසරේ සිදුකරන්නට නියමිතව තිබුණු සියලූ ක්‍රිකට් තරග අවලංගු කිරීමකින් දූෂණයෙන් නායකත්වයට තේරී පත්වූ පුද්ගලයාට පමණක් නොව එහිදී දූෂණයට නතුවූ ශිෂ්‍යයන්ටද පාඩමක් ඉගැන්වීය. එකල කොළඹ වෙස්ලි විද්‍යාලය සලකන ලද්දේ ලංකාවේ සියලූ මෙතෝදිස්ත පාසල්වලට තිබුණු මව් පාසල වශයෙනි. ඩී.එම්. රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙස්ලි විද්‍යාලයට අනුයුක්ත කිරීම මගින් ඔහුට සිදුවූ අසාධාරණයට වන්දි ගෙවීමක් සිදුකළා පමණක් නොව ඒ මගින් තමා විදුහල්පති වශයෙන් ක්‍රියාකරන රිච්මන්ඩ් විද්‍යාලයට දඬුවම් කිරීමක්ද සිදු කළේය.

මේ මගින් විදුහල්පති ස්මෝල් රිච්මන්ඞ් විද්‍යාලයට පමණක් නොව රටේ අන් සියලූ විද්‍යාලවලටද ලබාදී තිබෙන ආදර්ශය සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨ ආදර්ශයක් ලෙසය. රටට අවශ්‍යව ඇත්තේ එවැනි නායකයන්ය. රටේ අවාසනාවකට රටට නැත්තේද එවැනි නායකයන්ය.

උපුටා ගැනීම: "දූෂණ මර්දනය හා ස්මෝල්ගේ ආදර්ශය – වික්ටර් අයිවන්"  ලිපියෙනි