Saturday, October 14, 2017

රිඟින් ටෝන් වංචාවක්ද? - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 5

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

ගීතයේ අයිතිය පිළිබඳව නිසි නීතිමය ප්‍රතිපාදනයක් නොමැති යුගයේදී ගීතය තුලින් ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි.  නමුත් නීතිමය ප්‍රතිපාදන ස්ථාපිත කරනා විට ගීතයේ නිර්මාණකරුවන් වන පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාටම අයිතිය පැවරෙන ආකාරයට සැකැස්මක් බොහෝ රටවල ඇතිකෙරින. අප රටේද ගීත රචකයාට අයිතිය ලැබෙනා ආකාරයට නීති ස්ථාපිත වුවද දිගින් දිගටම එහි ප්‍රතිලාභ ලබා ගත්තේ ගායකයා පමණි. බුද්ධිමය දේපල පනත කෙසේ කීවද ගායකයා විසින් පද රචකයා සහ තනු නිර්මාපකයා අමතක කර දමා තිබිණ. ප්‍රසංග වල ගායනයෙන්  ලබා ගන්නා මුදලින් කිසිදු භාගයක් අනෙක් හිමිකරුවනට ලබා දුන්නේ නැත.  අහිංසක කලා කරුවන් වූ පද රචකයින් සහ තනු නිර්මාපකයින් සිය අයිතිය වෙනුවන් සටන් නොකරන පරිසරයක් තුල ගායකයා විසින් දිගින් දිගටම බුද්ධිමය දේපල වංචාව කරගන ගියේය.

මේ තත්වය තාක්ෂණ දියුණුවත්  සමග වෙනස් විය. ජංගම දුරකථන ජාල "රිඟින් ටෝන්" හඳුන්වා දීමත් සමග ජනප්‍රිය ගීත වල "රිඟින් ටෝන්" සඳහා විශාල ඉල්ලුමක් ඇති විය.  දුරකථන ග්‍රාහකයින් "රිඟින් ටෝන්" බාගත කරගන්නා සැම විටම ගීතයේ අයිතිකරුට සැලකිය යුතු මුදලක් ලැබෙනා ආකාරයට  ජංගම දුරකථන සමාගම් විසින් ක්‍රමවේදයක් සකසා තිබිණ. ඒ අනුව "රිඟින් ටෝන්" සේවාව වෙතින් සමහර ජනප්‍රිය ගීත සඳහා මිලියන ගණනින් ගෙවීම් කර තිබුණි. 

මේ අවස්ථාවේ අතරමැදි තැරව් කරුවන් රැසක් බිහිවිය. ඔවුහු රට පීරා යමින් අප්‍රකටව ජීවත් වූ ගී පද රචකයින්ගේ ගීත වල "රිඟින් ටෝන්" අයිතිය සුලු මුදලක් ගෙවා තමන්ගේ නමට හරවා ගෙන ඒවා ජංගම දුරකථන ජාල වෙත විකුණා දැමුහ. තම නිර්මාණය සඳහා කිසිදු මුදලක් හෝ ප්‍රතිලාභයක් නොලැබුණු ගීත රචකයන්ට සුළු මුදලක් වුවද මහමෙරක් විය. පසුව මේ තත්වය හෙළිවීමෙන් පසුව ගීත රචකයින් ඍජුවම දුරකථන සමාගම් සමග ගිවිසුම් ගතවී සිය නිර්මාණ සඳහා සුවිසල් ප්‍රතිලාභ ලබා ගත්හ.

එවිට මෙතෙක් කාලයක් අනුන්ගේ බුද්ධිමය දේපල අයිතිය මංකොල්ල කමින් සිටි ගායකයන් කුපිත් විය. ඔවුහු දුරකථන සමාගම් ගානේ ගොසින් ගීත රචකයන් "රිඟින් ටෝන්" මගින් උපයා ගන්නා ලද මුදල් පිළිබඳව විමසා සිටියහ. තමන් කලින් කරනා ලද වංචාව අමතකවූ ඔවුහු පුවත් පත් සහ විද්‍යුත් ජනමාධ්‍ය තුලින් ආවේගශීලී ප්‍රකාශ ජනගත කලේ සුදු රෙද්දෙන් පොරවාගෙන සිටි සිය නිරුවත් ලොවට පෙන්නුම් කරමිනි.


පහතින් දැක්වෙන්නේ රටෙහි ඉමහත් ජනාදරයට පත් ගායකයකුගේ එවන් ප්‍රකාශයකි. 

ප්‍රශ්නය: අපි රිඟින් ටොන් නිසා සිදුවුණු ගැටළු පිලිබඳ මෙයට පෙරත් බොහෝ අවස්ථාවල කතා කොට තිබෙනවා.
නමුත් ලංකාව තුල තිබෙන නිතිය අනුව ගීතයේ අයිතිය ලැබෙන්නේ ගීත රචකයට වීම හේතුවෙන් ගීතයේ මුල් ගායකයාට ඒ පිළිබඳව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයකුයි තියෙන්නේ?

පිළිතුර: නෑ නෑ නෑ ඒ පිස්සොනේ. මොන පිස්සොද සත 5 කට ගනන් ගන්න එපා ඒ කතාව. ඒ ගොල්ලො අමුතු ආධිපත්‍යයක් පෙන්නන්න යනවා මේ ගීතය තුළ. ඕක මම කීව විදියටම දාන්න. එහෙම එකක් නෑ. මම සිංග් කල ඒව කාගෙන්වත් ඉල්ලලා නෙවෙයි සිංග් කරල තියෙන්නෙ. 

මම කිසිම ගීත රචකයෙක් ලඟට ගිහිල්ල ඉල්ලලා නෑ අනේ මට ලියල දෙන්න කියලා. මම එහෙම කරන්න කැමති නෑ. xxxx xxxxx කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සයට කියල මම සිංදුවක් ලියාගෙන තියනවා. "xxxxxx xxxxxx" කියන ගීතය.

එතකොට ඒගොල්ලො ඇවිල්ල තියනව මම ලඟට මගේ කටහඬින් කියන්න කියලා. ගොඩක් වෙලාවට මම මිනිස්සුන්ට බනින්නෙ නෑ. මගේ බැරිකම මම කියනවා. මට බේරෙන්න බෑ. රට රටවලින් පවා එනවා.

ගීත රචකයෝ කියන එවුන්ට මම හොඳ පාඩමක් කරනවා. මොකක්වත් නෙවෙයි අනවශ්‍ය ආධිපත්‍යයක් පෙන්නන්න හදනවා. මේ ගීතය තුළ. මෙතන ගායකයෙක් ගායිකාවක් හරියට කීවෙ නැති ගීත කොච්චර විසිවෙලා ගිහිල්ල තියනවද! සංගීතඥයත් ඉවරයි. රචකයත් ඉවරයි. එහෙමනම් ඒගොල්ලො මේක කොලේක දවටලා ඉරටෙක ගහල පාර මැද අල්ලගෙන හිටියනම් හරි. ගීතය ප්‍රසිද්ධ වෙයිද!

මහගමසේකර උන්නැහෙල, මාවනසිංහ මහත්තයල, අමරදේව මහත්තයත් එක්ක එක පැදුරෙ වාඩි වෙලා කතා කර කර නිර්මාණ බිහිවුනේ. එහෙමයි හොඳ ගීත බිහි උනේ. මගෙ කියල ඒ මිනිස්සු කුළල් කාගත්තද...! නෑ.

ඒ බොරු අයිතියක් අරගෙන මුන් මේ රිගිං ටෝන් එකටත් දාන්නෙ. අපිට අදාල නෑ ඔය නීතිය. කවුද ඔය නීතිය සම්මත කලේ! එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් දැනගන්න ඕන. රටේ ඉන්න කලාකාරයින්ගෙ නිර්මාණ මේව. එක මිනිහෙක් ගිහිල්ල කීව පලියට ඒ නීතියක් පවත්වලා හරියන්නෙ නැහැනෙ. 

අදාල පාර්ශවයන් ඔක්කම කැඳවලා අහන්න ඕන මේ නීතිය පැනෙව්වොත් එහෙම අසාධාරණ ද කියල. එහෙම අහන්නෙ නැතිව පනවපු නීතියක් මේක. ගායකයට වැඩි අයිතියක් එනව. ඒක තේරුම් අරගෙන කොහොම හරි පසුකාලීනව.

ඔය මෝඩ වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස්. ඔය මෝඩ ගොන් තකතීරු වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද ඒ මිනිහ ඔය මොකක්වත් දන්නෙ නෑ. එයාගෙන් විතරයි අහල තියෙන්නෙ. කාගෙන්වත් අහල නෑ ඒ කාලෙ.

මිනිස්සු ආසයි අපිව ගෙන්නලා සින්දුවක් කියවලා අහන්න. එතකොට ගානක් දෙනවා. එහෙමයි කියල අපි මේක දීපන් කියල හූරගෙන කන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙන්. එතකොට ඒකටත් (ගීත රචකයන්ට) ඊරිසියාවක් තියනවා. ඕක තමයි ප්‍රශ්ණෙ. ගීතයක් ප්‍රචාරය වෙනවනම් මේ තුන් දෙනාටම හරි ආකාරව බෙදිල යන්න ඕන.

මට දවසක් කතා කරල ආචාර්ය ගම්ලත් මහත්තයා කීව එතුමාගේ බීබීසී සංදේශය වැඩසටහනට ඉදිරිපත් වෙන්න කියලා.. කතා කරල මගෙන් ඇහුව ඔබතුමා ගීතයේ ස්වාමීත්වය ගැන මොකද කියන්නෙ කියලා...මම කෙලින්ම කීවා මේක තනි කෙනෙකුට අයිතියක් නෑ මේක තුන්දෙනාගෙම උත්සාහයක්. හැකියාවක්. අනිත් දෙන්නට ආලෝකයක් දෙන විදියට ගයපු නිසා තමයි ඒ දෙන්නටත් ආලෝකයක් ආවේ.

මේ ලඟදී මට කීව xxxxxxx   කියන නමත් පාවිච්චි කරන්න එපා කියලා. xxxxxx කියන එක සිංහළ භාෂාවේ වචනයක්. ඒක කාටවත් අයිති නැහැනෙ. මම ගයපු හැම ගීතයක්ම ගීත රචකයාට මම ගරු කරනවා. xxxxxxx ගීතයට අත තිබ්බෙ නෑ කවුරුවත්.

මම තව එකක් කියන්නම්. ඔය රිගින් ටෝන් සංකල්පය ආපු අළුත ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ එතන හිටිය මම අදුරන පානදුර පැත්තෙ කැලිප්සෝ එහෙම වාදනය කරන මනුස්සයෙක්. එයා තමයි මාව කැඳෙව්වෙ. එයා මට කීව අපේ ආයතනය තීරණය කරල තියනව ඔබ තුමාගෙ xxxxxx  වැනි ගීත අරගෙන අපි රිගින් ටෝන් වලට දාන්න. මාත් එක්ක පැයක් විතර කතා කලා. කොච්චර මුදල් අවශ්‍යය ද කියල මගෙන් ඇහුවා. මම මේ කියන්නෙ අවුරුදු 10 කට 12 කට විතර කලින්.

මම කීව මට ඕකට එකඟ වෙන්න බෑ. මේක තුන් දෙනෙකුට අයිති නිර්මාණයක්. අනිත් දෙන්නත් දැනුවත් කරල කියන්නම් මට අවශ්‍ය ගාන කියලා.

මේගොල්ලො ලීව නිසා නෙවෙයි ඕක මිනිස්සු අහන්නෙ මම හරියට කීව නිසා. පැහැදිලිම සත්‍යය ඒකයි. අද බලන්න පත්තරේක කවියක් තිබුනට කවුද ඒක කියවන්නෙ. හොඳ උගත්කමක් තියන ඒකෙ රස අඳුනන කෙනෙක් විතරයි ඒක කියවන්නෙ. ගීතයක් ලීවම සංගීතයක් දවටලා තමයි අස්සවන්නෙ. ඊට පස්සෙ තමයි කවුද සිංග් කරන්නෙ කියල අහන්නෙ. එතකන් මිනිසුන්ට ඒක වැදගත් නෑ. ඒකෙන්ම තේරෙනව අපි තමයි මේකෙ නියම අයිතිකාරයෝ. කවුද ඔය නීතිය හැදුවෙ..! 

ප්‍රශ්නය: විවිධ සමාගම් අටවාගනිමින් මේ ගීත සොරකම කරන පුද්ගලයනුත් හෙළි කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ?

පිළිතුර: වැරැද්ද කරන්නෙ මේ ජංගම දුරකථන ආයතන. අපේ කලාකාරයෝ හෑල්ලුවට ලක් කිරීමක් ඒගොල්ලො කරන්නෙ. කෙනෙකුට දැනෙන්න සිංදුවක් කියන එක හරි අමාරු වැඩක්. ඒක හෑල්ලුවට ලක් කරනව මේගොල්ලො. කිසි බලයක් නැතුව කෝටිගනන් හම්බ කරනව මේගොල්ලො. සත 5 ක් මේ වෙනකං කිසිම ආයතනයකින් මට ගෙවල නෑ. මම අරගෙනත් නෑ.

මම අඳුනන ලෝයර් කෙනෙක් ඉන්නවා. එයා මාව අරගෙන ගියා එක්තරා ආයතනයකට ගියාම ඒගොල්ලො බය උනා. ගිහිල්ල ඇහුව xxxxxx xxxxxx ගෙ සිංදු කොච්චර අරගෙන තියනවද කියලා සංඛ්‍යාලේඛන අපිට දුන්නා.

මගෙ xxxxx ගීතයෙන් පමණක් ඔවුන් ලක්ෂ 85 ක් හොයල තිබුනා. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. මගෙ ලෝයර් ඇහුව ඒ සල්ලි අපිට ගන්න බැරිද කියලා. ගන්න බෑ කීවා. අද ඉඳල ඒක කරල දෙන්නම් අලුත්ම නීතියේ හැටියට. කේස් එකක් ෆයිල් කලොත් ඒවත් ගෙවන්න වෙනවා. මම හොයල බැලුවා. අනිවාර්ය්‍යයෙන්ම ගෙවන්න ඕන. රුපියල් කෝටි ගානක් මට එන්න තියනව සල්ලි.


කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
4.0 කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව
3.0 සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 
2.0 නිහාල් නෙල්සන් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව 

1.0 සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව

Sunday, October 8, 2017

කපුගේ සමග සන්ෆ්ලවර්ස් - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 4

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

ජිප්සීස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියේ උපරිමය වෙත ලඟා වන අවදිය වන විට ලංකාවේ පැවතියේ සංගීත කණඩායම් ඉතාමත් සුළු ගණනක් පමණි.එම කණඩායම් වල බටහිර සංගීතය විධිමත් ලෙස හදාරන ලද වාදකයන් සිටි අතර ඔවුන්  ලාංකික රසිකයාට සුමිහිරි ගීත පෙළක්ම දායාද කරදී තිබුණි. එම ගීත වලින්  බහුතරය ගුවන් විදුලියට ආගන්තුක විය. නමුත් ගීත රචකයා ගුවන් විදුලි කල්ලියට සම්බන්ධ අයෙකු වී නම් ගීතය ගුවන් විදුලිය ප්‍රචාරය වින. ඉතිරි ගීත අසන්නට ලැබුනේ එකල විරල වූ තැටි වාදන යන්ත්‍ර හිමිකරුවන් වූ යමක් කමක් ඇති පන්තියට පමණි. මෙය ශ්‍රී ලාංකික රසිකයාගේ රසඥතාව මොට කිරීමට හේතුවක් විය. ගම්වල තරුණ තරුණියන්ට ගුවන් විදුලි ඉන්දියානු කල්ලිය පමණක් වීරයන් විය. 

හැත්තෑ හතේ පෙරලියන් පසුව විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම සුවිසල් සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතික  පෙරලියක් රට තුල  සිදුවිණ. රට වටා විවිධ පෙදෙස් වල නිදහස් වෙළෙඳ කලාප බිහි විය. ඒවා තුලට ග්‍රාමීය තරුණ තරුණියන් දස දහස් ගණනින් ගාල් කෙරිණ. ග්‍රාමීය වශයෙන් ඉහල මට්ටමක තිබුණු රැකියා විරහිතභාවය, කුල පීඩනය, දිළිඳුකම වැනි සාධක මත තරුණ තරුණියන් අවම පහසුකම් වලින් යුතු මේ වහල් කඳවුරු වෙත පැමිණියේ මුදල් මෙන්ම නිදහස් වාතාවරණයක් බලාපොරොත්තුවෙනි.

නිදහස් වෙළෙඳ කලාප වටා ඒවාටම අනන්‍ය වූ උප සංස්කෘතියක් ගොඩනැගිණ. ඒවාට පැමිණි තරුණ තරුණියන් ගම සහ නගරය යන දෙකටම අයත් නොවන සංස්කෘතියක අතරමං වී සිටියහ. මේ සංස්කෘතිය තුල එළිමහන් සංගීත සංදර්ශණ සුලභ විය. සමහර සති අන්තයන්හි  ප්‍රදේශයේ විවිධ ක්‍රීඩාංගන වල සංගීත ප්‍රසංග දෙක තුන පවත්වන තත්වයක් තිබිණ.

ජිප්සීස් කණ්ඩායමේ සාර්ථකත්වය සමගම පුරා බොහෝ සංගීත කණඩායම් බිහිවිය. ඉන් බොහොමයක් උපන්ගෙයිම මියැදුණු නමුදු කිහිපයක් පමණක් සාර්ථක විය. එළිමහන් සංගීත ප්‍රසංග වලට සංගීතය සැපයීම සඳහා උපරිම ඉල්ලුම තිබුණු කණ්ඩායම් අතර සන් ෆල්වර්ස් ඉහලින්ම සිටියේය. ගුවන් විදුලිය කේන්ද්‍ර කරගත් ඉන්දියානු ගුරු කුලය මුල් යුගයේදී එළිමහන් ප්‍රසංග වල ගීත ගායනයේ නොයෙදින. ඒවායේ ගායනයේ යෙදුනේ බටහිර ආරයේ ගීත ගායනා කරනා ලද ගුවන් විදුලි කල්ලියට පිටස්තර ගායක ගායිකාවන් පමණි. ප්‍රවීණ යයි කියාගන්නාලද ඉන්දියානු ගුරු කුලය මේ සංගීත කණ්ඩායම්  නිර්දය ලෙස විවේචන කරනා ලද්දේ ඒවා තුප්පහි සංගීත කණ්ඩායම් ලෙසින් හඳුන්වමිනි.

වෙළෙඳ කලාප වලට ග්‍රාමීය තරුණ පිරිස් පැමිණීමත් සමගම ඒවායේ ප්‍රසංග වලට ගමේදී ස්වකීය වීරයන් වූ ඉන්දියානු ගුරුකුලයේ ගායන ශිල්පීන්ට හොඳ ඉල්ලුමක් බිහිවිය. ආර්ථික අපහසුතා වලින් හෙම්බත්ව සිටි ඉන්දියානු ගුරුකුලයේ එකා දෙන්නා තමන්ට තිබුණ ඉල්ලුම සහ ලැබෙනා මුදල හේතුවෙන් තමන් කලින් විවේචනය කරනා ලද තුප්පහි සගීත කණඩායම් වල ටකරං සංගීතයට ගීත ගායනය ආරම්භ කලහ. ටික කලෙකින් ටකරං සංගීත කණ්ඩායම් සමග ගීත ගායනයේ නොයෙදුනේ වික්ටර් රත්නායක, නන්දා මාලනී වැනි ස්ථාවර ආර්ථික තත්වයක් ඒ වනවිටත් ගොඩනගාගෙන සිටි අල්පයක් පමණි. සවසට ටකරං කණ්ඩායම් වල ගායනයට වේදිකාවට නගින ඉන්දියානු ගුරුකුලයේ සමහරුන් දහවලට එම කණඩායම් විවේචනය කිරීම සුලභ විය. ඔවුනට පමණක් දොර හැරී තිබුණු පුවත්පත් ලිපි, ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වලදී ටකරං සංගීත කණඩායම් පතුරු හැරීම සඳහා කිසිදු හිරිකිතයක් මොවුනට නොවිණ.

ප්‍රසංග වේදිකාවේ ඉහල ඉල්ලුමක් තිබුණු ගුණදාස කපුගේ මේ අවදියේදී විප්ලවකාරී තීරණයක් ගත්තේය. ඒ සන්ෆල්වර්ස් සංගීතයට කැසට් පටයකට ගීත ගායනය කිරීමට ගන්නා ලද තීරණයයි. 

එම තීරණය දේශීය සංගීත ක්ෂේත්‍රයේ  විප්ලවයක්ම විය. කපුගේ එක රැයින් මාකට් විය. "සන්ෆ්ලවර්ස් සමග කපුගේ" කැසට් පට ලක්ෂ ගණනින් අලෙවි විය. බස් රථවල දීර්ඝ කාලයක් වාදනය වුයේ කපුගේ පමණි. 

සුපුරුදු ලෙසින්ම ඉන්දියානු ගුරුකුලයේ කුහකයෝ කපුගේට එරෙහිව අවි අමෝරා ගත්හ. කපුගේ වෙත කෙරුණු නිර්දය විවේචන වලින් පුවත් පත් පිටු පිරී ගියේය. ගුවන් විදුලි සහ රුපවාහිනී සාකච්චා වල කපුගේ නොමරා මැරූහ. එනමුදු සවසට සන්ෆ්ලවර්ස් වේදිකාවට ගොඩවුහ. 

ඒ වනවිට ආර්ථික අපහසුතා වලින් අන්ත අසරණ බවට පත්ව සිටි හෙන්රි කල්දේරා ද කපුගේ ගිය මගෙහි ඉතා ඉක්මනින් පා නැගුවේය. "සන්ෆ්ලවර්ස් සමග හෙන්රි කල්දේරා" ද සුවිසල් සාර්ථකත්වයක් ලබමින් ජනප්‍රිය විය. සන්ෆ්ලවර්ස් ද හරිහරියට මාකට් විය. සංගීත පුහුණුවීම් සඳහා වෙලාවක් නොමැති වූ සන්ෆ්ලවර්ස් සිය පුහුණුවීම් සිදුකරනා ලද්දේ නගරයෙන් නගරයට යන අතරතුර බස් රථයේ දී බව නීල් වර්ණකුලසුරිය පසුකලෙක කියා තිබිණ. 

ඉතා ටික කලෙකින් "සන්ෆ්ලවර්ස් රැල්ල" මාරුතයක් මෙන් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය පුරා හමා ගියේ ඉන්දියානු ගුරුකුලයේ බොහෝ දෙනෙකු සන්ෆ්ලවර්ස් කැසට් පටයේ ඔතා දමමිනි. ඔවුහු කිසිදු ලැජ්ජාවක් නොමැතිව තමන් විසින් නිර්දය විවේචනයට ලක් කරනා ලද නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් ඉදිරියේ දණ නැමීය.

ඉන් වසර 10 ට පමණ පසුව ගුණදාස කපුගේ කියා තිබුනේ ඔහු සන්ෆ්ලවර්ස් කැසට් පටයට ගීත ගායනා කලේ සංගීත ක්ෂේත්‍රයේම මිතුරකුගේ ආර්ථික අවශ්‍යතාවකට පිහිට වීමට බවය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 

Friday, October 6, 2017

සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 03

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් 
හැත්තෑව දශකයේ අග භාගයේදී ඉන්දියානු සංගීත ගුරු කුලය අමන මුග්ධයන් බව පසු කලෙක ලොවට හෙළිකළ තරුණයකු සිංහල සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළේය. ඔහු සුනිල් පෙරේරා විය. ඉහල මධ්‍යම පන්තියට අයත් කර්මාන්ත කරුවකුගේ පුත්‍රයකු වූ හෙතෙම ඒ වන විට බටහිර සංගීතයේ නිපුනයකු විය. සුනිල් පෙරේරා සහ ඔහුගේ සහෝදරයන්ගෙන් සැදුම්ලත් ජිප්සීස් සංගීත කණ්ඩායම පොප්, කන්ට්‍රි, රොක්, රොක් ඇන්ඩ් රෝල් වැනි බොහෝ බටහිර ශෛලීන් මනාව ප්‍රගුණ කර තිබිණ. ශ්‍රී ලාංකීක පොප් සංගීතයේ ඥාණ පියා (God farther of Sri Lankan Pop) යනුවෙන් බටහිර ගීත රසිකයන් හඳුන්වන ලද රාජ් සෙනවිරත්න වැනි සංගීතඥයන් ඇසුරේ වූ සුනිල් පෙරේරා දක්ෂ වාදකයෙකු වූ අතරම රොක් ඌරුවට හැඩගැසුණු විශිස්ථ කටහඬක් ද ඔහුට විය.  

සුනිල් පෙරේරා සිංහල සංගීතය ආක්‍රමණය කරේ නැවුම් ආරකින් යුතු කුරුමිට්ටෝ ගීතය ඉදිරිපත් කරමිණි. එය මෙරට රසිකයන් ඉල්ලා සිටි ආකාරයේ ගීතයක් විය. සුනිල් පෙරේරා එක රැයකින් තරුවක් බවට පත්වී ඉහලින්ම මාකට් විය. තමාගේම සංගීත කණ්ඩායමක්, තමාගේම ශබ්දාගාරයක් සතුවූ ඔහු කැසට් පටි බෙදාහැරීම සඳහා තමාගේම සමාගමක්ද පිහිටුවූයේය. සුපුරුදු ලෙසින්ම ගුවන් විදුලිය අරක්ගෙන සිටි කුහක ඉන්දියානු ගුරු කුලය සුනිල් පෙරේරාගේ ගීත ගුවන් විදුලියට වැද්ද ගත්තේ වත් නැත. ඔහුගේ ජනප්‍රිය තාවය නොඉවසු කුහකයින් පුවත් පත් හරහා සුනිල් පෙරේරා වෙත නිර්දය විවේචන එල්ල කළහ. ඔහුගේ සංගීතය රටෙහි සංස්කෘතිය විනාශ කරනා බවට කෙස් පැලෙනා තර්ක ඉදිරිපත් කළහ. සුනිල් පෙරේරාගේ සංගීතය විවේචනයෙන් සෑහීමකට පත් නොවී ඔහුගේ කොණ්ඩය, බෙල් බොටම් කලිසම  පමණක් නොව කර බැඳී කුරුසිය පවා විවේචනය කළහ.

ගුවන් විදුලිය සුනිල් පෙරේරාගේ ගීත ප්‍රත්ක්ෂේප කරනා විට ඔහු කලේ ඉරිදා දහවල හොඳම ගුවන් කාලය මිලදී ගෙන තමන්ගේ ගීත ප්‍රචාරය කිරීමය. ඒ සඳහා ඔහුට ආර්ථික ශක්තියක් විය. මෙරට රසිකයින් ඒ වෙලාවට ගුවන් විදුලි යන්ත්‍ර වටකරගත්හ. ගුවන් විදුලියේ බමුණන් මේ වැඩසටහන නවතා දැමීමට නොයෙක් උත්සහ දැරුවද එයට නිමිත්තක් සොයා ගත නොහැකි විය. ජිප්සීස් ඉහලින්ම මාකට්වී සන්නාමයක් (Brand) බවට පත්විය.

සුනිල් පෙරේරාව පත්තර පිටු ගණන් විවේචනය කරනා ලද ඉන්දියානු ගුරු කුලය වෙත ඔහුට පහර දිය හැකි ඉහලම ආයුධයක් මගහැරී තිබිණ. මන්ද යත් සංගීත ඔස්තාර්ලා බව ලොවට පෙන්වාගෙන සිටි විවේචකයන් විශ්ව සංගීතය ගැන මෙලෝ හසරක් නොදත් ලිං මැඩියන් පිරිසක් වීම නිසාය. සුනිල් පෙරේරාගේ බොහෝ ගීත වල තනු බටහිර ගී තනුම විය. සමහර ගීත බටහිර ගීත වල සිංහල පරිවර්ථන විය. එකල පවා ඉංග්‍රීසි පුවත් පත් වල මේ බව කලාතුරකින් පල විය. නමුත් බහුතරයක් වූ විචාරකයින් ඉංග්‍රීසි නොදත් මැටි මොළුන් විය.

විවේචකයන් සිදු කලේ සංගීත විචාරයක් හෝ විවේචනයක්  නොව සුනිල් පෙරේරාගේ ප්‍රසිද්ධිය සමග එරියස් කවර කිරීමක් පමණක්ම විය. 

කුහක කම් ඉවර නැත. මතු සම්බන්ධයි.

ලිපි පෙළෙහි පෙර කොටස් පහතින්